“පදාර්ථයක් නොමැතිව චලනයක් සිදු විය නොහැක, පදාර්ථයේ චලනයක් නොමැතිව සංවේදනයක් ඇතිවිය නොහැක”.
භෞතිකවාදය හා අනුභූතිකවාදී-විවේචනය(Materialism and Empirio-criticism) නැමැති ග්‍රන්ථය සම්පාදනය කිරීම සඳහා ලෙනින් වස්තු බීජය ලෙස යොදා ගනු ලබනුයේ ඉහත න්‍යායය මත පදනම්ව ලියනු ලැබූ එංගල්ස්ගේ ඩුරී විරෝධය නැමති ග්‍රන්ථය වේ. ලෙනින් තම පක්‍ෂය තුල ආගමික-මාක්ස්වාදී කල්ලියක් ලෙස බිහි වූ අනුභූතික විවේචකවාදින් පිළිබඳව පවසා සිටියේ හේගල් විසින් විඥානවාදය සංවර්ධනය කලත් ඔහුගේ පරම සත්‍යය න්‍යායය අවසාන විග්‍රහයේදී භෞතික වාදයට ගමන් කරනු ලැබුවත් අනුභූතිකවාදී විවේචනය තෝරා ගත් රුසියානු මාක්ස්වාදීන් මාච්ගේ අඥවේවවාදය(agnosticism) තෝරා ගැනීමෙන් හේගල්ගේ විඥාණවාදයද අබිබවා ගිය සුපරි විඥානවාදීන් බවට පත් වූ බවයි.
තම පක්ෂ සාමාජිකයින් විසින් වැළඳ ගත් අර්නස්ට් මාච්ගේ නව කාන්ට්වාදී මායා මතය එනම් අපගේ දැනීමකින් තොරව පදාර්ථයට(ඝණ, ද්‍රව හා වායු)පරිබාහිරව ස්වාධීනව(Things its self) පැවතිය නොහැක යන විඥානවාදි මතය මත පදනම්ව විවිධ නම් වලින් සමාජ ගත කෙරුණු විඥාණවාදී ගුරු කුලයන්ට එරෙහිව දැවන්ත අරගලයක් පක්ෂය තුල සිදු කිරීමට ලෙනින්ට ඒ අනුව සිදුවිණි. පැහැදිලිවම මෙම ප්‍රවණතාවයන් අඩු වැඩි වශයෙන් සේවය කරනු ලැබුවේ පල්ලිය විසින් ප්‍රවර්ධනය කරන ලද දෙවියන් විසින් ලෝකය මැව්වා යන්න ඍෂ්ටිවාදී මතවාදය සමාජ ගත කිරීම සඳහාය.
ලෙනින් මෙම දේවවාදයට එරෙහිව විෂය මුලික යථාර්ථයේ ප්‍රමුඛ බව හා එමගින් පමණක් මිනිස් සංවේදීතාවයන් උත්පාදනය වන බව යන මාක්ස්වාදී න්‍යායය තව දුරටත් සංවර්ධනය කරනු ලැබුවේය. ලෙනින්ට අනුව පැවැත්ම සිතිවිලි වලට වඩා ප්‍රමුඛ වන අතර සිතුවිලි ඇතිවීම මොලයේ හා ස්නායු පද්ධතිය සහිත ජීවියෙකුගේ ශරීරය තුල සිදුවන සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රථිපලයකි. ඒ අනුව මොලයේ හා ස්නායු පද්ධතියේ හා පදාර්ථය නිරීක්ෂණය කිරීම සඳහා ජීවියෙකුගේ පැවැත්ම අත්‍යවශ්‍ය වන අතර එම ජීවියාගේ පැවැත්ම සඳහා ස්වභාවික ලෝකයක් ද තිබිය යුතුව ඇත. ඒ අනුව ස්වභාවික ලෝකය කිසියම් පුද්ගලයෙකුගේ විඥාණය මගින් බිහිකරන ලද්දක් නොව ජීවය ලොව බිහිවීමට වසර දහස් ගණනකට පෙරත් පෘථිවිය පැවැති බවත් යන විද්‍යාත්මක ඉදිරිපත් කිරීම ලෙනින් පිළිගනු ලැබීය.
එනම් මාක්ස්වාදී අර්ථ කථනය තවදුරටත් තහවුරු කරමින් විෂය මුලික කොන්දේසි විසින් මනෝ මුලික කොන්දේසි නිර්මාණය කරනු ලබනු විනා මිනිසාට ඉතිහාසය නිර්මාණය කල නොහැකි නමුත් ඉතිහාසයට මිනිසා වෙනස් කල හැකි බවත් ලෙනින් අවධාරණය කරනු ලැබුවේය. ඒ අනුව මිනිසාට සංවේදනය නොවන භෞතිකමය මුලද්‍රව්‍ය හා මුලාශ්‍ර ස්වභාව ධර්මය තුල අපගේ විඥාණයෙන් පරිබාහිරව ස්වාධීනව පවතින බවත් ඒවා නිරතුරුවම වෙනස් වෙමින් පවතින ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව නවීන විද්‍යාවේ සියළු නව සොයාගැනීම් කිසිදු ආකාරයකින් පරම සත්‍යය ලෙස පිලි නොගත යුතු අතර ඒවා සාපේක්‍ෂ ලෙස වර්ධනය වන ආකාරය නිරීක්ෂණය කරමින් නිගමනයන්ට එළඹිය යුතු බව ඔහු අවධාරණය කරනු ලැබීය. එනම් ද්‍රව්‍යය නිරතුරුවම චලනය වෙමින් පවතිනවා යන්න එංගල්ස්ගේ භෞතිකවාදී න්‍යායය ලෙනින්ගේ භෞතිකවාදය හා අනුභූතිකවාදී විවේචනය නැමැති ග්‍රන්ථය මගින් තව දුරටත් සංවර්ධනය කරනු ලැබුවේය.
“ඉතිහාසයේ විවිධ අවධි වල බිහිවන රාජ්‍යයන් හා නිෂ්පාදන මාදිලින්ගේ සංයුතිය විසින් සමාජය තුල වපුරන අධිපති විඥාණය මගින් තම යටත් වැසියන්ගේ විඥාණය නිර්මාණය කරනු ලබනවා විනා වැසියන්ගේ විඥාණය මගින් සමාජයේ හෝ රාජ්‍යයේ විඥාණය නිර්මාණය කරනු නොලබයි”
මාක්ස්වාදයේ මුලික පදනම ගොඩ නැගී ඇත්තේ මෙම න්‍යායය තුල වේ. මෙය විකෘති කරලීම සඳහා පුද්ගල විඥාණය මත පදනම් වූ එනම් මම සහ මම නිර්මාණය කල ලෝකය හෝ මගේ අනෙකා වැනි කිසිදු විද්‍යාත්මක පදනමක් නැති මායා මතයන් විවිධ යුග තුලදී ධනේශ්වර චින්තකයින් විසින් නිර්මාණය කරනු ලබනු ලැබුවේ තම ක්‍රමයට එරෙහිව එල්ලවන ජනතා විරෝධය විවිධ දෘෂ්ටිවාදයන් ඔස්සේ බෙදා දැමීම සඳහා වේ. මම හෝ මගේ අනෙකා ජිවත් වනුයේ එකම ධනේශ්වර සමාජයක යන්න අමතක කරලවිම මෙහි ප්‍රධාන අරමුණ විණි.
ඒ අනුව ලෙනින් ජිවත් වූ යුගයේදී විවිධ නම් වලින් ඉදිරිපත් වූ අනුභූතික-විවේචකවාදය(empriocritism) හා මේ වන විට ලොව පුරා සිජැක්, ලකාන්, ෆුකෝ, ලක්ලාව්, ඩෙරීඩා විසින් ලොව පුරා පතුරවන ලද පශ්වාත් නුතන වාදය හෝ සිග්මන්ඩ් (Sigmund Freud) ගේ මනෝ විද්‍යාව සමග එක් කර ගොඩ නැගු Freudo-marxisme වැනි විඥාණවාදයන් අතර කිසිදු වෙනසක් දක්නට නොලැබේ. වෙනස ඇත්තේ ලෙනින්ගේ යුගයේ අනුභූතික-විවේචකවාදීන් එය බාහිර ලෝකයේ ප්‍රමුඛතාවය හා මිනිස් විඥාණය අතර ගැටුමේ විසංවාදයක් වන විට වර්තමානයේ එය තමන් හා තමන්ගේ අනෙකාගේ මොකක්ද හොයන සටනක් බවට පත්ව තිබීමය.
මෙමගින් සමාජයේ සියළුම අර්බුධ වලට රජයේ වගකීම හෝ රජයට එරෙහිව එල්ල වීම වැළැක්වීම සඳහා එම විරෝධය තමන්ගේ අනෙකා, මිතුරා, පෙම්වතිය, බිරිඳ, පියා හෝ මව, තම ස්වාමියා සමග ගැට ගසනු ලැබිණි. මේ සඳහා ප්‍රොයිඩ්ගේ මනෝ විද්‍යාවත් වඩා හොඳ සහයක් ලිබරල් චින්තකයින්ට ලබා දෙනු ලැබිණි. මෙය ස්වභාවිකව මානවයා තුල පැවති සාමුහිකත්වය බිඳ දමා ඔවුන්ව හුදකලා කරමින් බිහි කරන නව ලිබරල් සමාජය ප්‍රවර්ධනය කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් අවසානයේ සිදු කරනු ලැබුවේය. පශ්වාත් නූතනවාදය පරිභෝජනවාදයක් ලෙස අර්ථ දක්වනුයේ මේ නිසාවෙනි. විශේෂයෙන් ආර්ථිකය සඳහා රජයේ මැදිහත් වීම අහෝසි කර පුද්ගලයා හා ආර්ථික සමාගම් මත පමණක් පදනම්ව ප්‍රවර්ධනය කල ආත්මාර්ථකාමී සමාජයක් බිහි කිරීමේ උපක්‍රමයක් ලිබරල්වාදය සතු විය. එමගින් පුද්ගලික සමාගම් හා පුද්ගලයාට ඇති නිදහස් ආර්ථික සංචරණය සංවර්ධනය කර රජය පේක්ෂකයෙකු බවට පත් කෙරිණි.
දෙවන ලෝක මහා යුද්ධයෙන් පසුව කෙනේසියානු ආර්ථික න්‍යායයට එරෙහිව milton friedman විසින් ඉදිරිපත් කරන ලද මෙම නව සම්භාව්‍ය ආර්ථික න්‍යායය(neo-classic හෝ chicago boys පාසැල) 77 සිට ශ්‍රී ලංකාව හා චිලිය දේශය තුල තැචර් හා රේගන්ට පෙර ඉතා හොඳින් අත්හදා බැලිණි. එහි ප්‍රථිපල අප අද හොඳින් අත් විඳින්නෙමු. 2008 ආර්ථික අර්බුධයේදී ඇමරිකානු ජනාධිපති ඔබාමා ප්‍රකාශ කරනු ලැබුවේ පාලනයකින් තොරව ප්‍රාග්ධනය සංක්‍රමණය වීම අවසන් කල යුතු බවයි. මෙම පොරොන්දුව ඉටු නොවූ නමුත් අද ආර්ජන්ටිනාවේ අරාජිකවාදී-ධනවාදය(anarcho-capitalism) නම් න්‍යායය මත බලයට පැමිණි නව ජනාධිපතිවරයා වන මිලෙයි ආර්ථික සංවර්ධනය සඳහා රජයේ කාර්‍යභාරය අවසන් කල යුතු බව පවසනුයේ මුල්‍ය අරමුදලේ ද විරෝධය මැදය.
පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි මුල්‍ය අරමුදලේ නියෝජිතයා ආර්ථික ලාභයන් සමස්ථ ජනතාවට ලැබිය යුතුයි යයි අවධාරණය කරනුයේ තමන් විසින්ම හඳුන්වා දුන් නව ලිබරල් ධනවාදය තමන්ටම පාරා වළල්ලක් බවට පත්ව ඇති බව මේ වන විට ඉතා හොඳින් අවබෝධ කර ගෙන ඇති නිසාය. මුල්‍ය අරමුදල හා ලෝක බැංකුවේ එක්ව පසුගිය ඔවුන්ගේ වාර්ෂික සැසිවාර වලදී මේ සම්බන්ධයෙන් ඉතා බරපතල ලෙස G8 හා G20 රටවල් සමග සාකච්චාවට භාජනය විණි.
සෝවියට් කඳවුර බිඳ වැටීම දක්වා 80 දශකයේ ආරම්හ කල ඩෙරීඩාලා, ලකාන්ලා අඩු වැඩි වශයෙන් මාක්ස්වාදයට මුවා වෙමින් විවිධ නම් වලින් “මම පමණක්” හෝ “මගේ අනෙකා” යනාදි මතවාදයන් සමාජ ගත කරන ලදී. මෙම විඥානවාදී මායා මතයන් ලෝක ජනතාව පසුකාලීනව ස්ත්‍රී වාදය, සංකාන්ත්‍රික හා සමරිසි ලිංගික ප්‍රජාව, සුළු ජාතික බෙදුම්වාදය, ආගම්වාදය, තුල බෙදා දමමින් ඔවුන් අතර සමාජයේ වරප්‍රසාද හිමි කර ගැනීමේ හුදකලා අරගලයන් දක්වා තල්ලු කරනු ලැබුවේය. එහි ප්‍රථිපලයක් ලෙස 1990 දශකයේ පැරණි යුගෝස්ලාවියාවේ ජාතිකත්වයන් මත බෙදා ආරම්හ කල මෙම කෙටවීම අද වන විට එය ආගමික යුධ ගැටුම් දක්වා වර්ධනය වී ඇත. යුරෝපය තුල එය නග්න නාසිවාදයේ හිස එසවීම දක්වා උත්සන්න වී ඇත.
ලෙනින් මිය ගොස් වසර 100ක් පිරෙන අද දිනයේ ලෙනින්ගේ වචන වලින් කිව හොත් “කල යුත්තේ කුමක්ද” ?ස්ත්‍රීවාදීන්, සංක්‍රමණික හා සමරිසි ප්‍රජාව, සුළු ජාතිකයින්, ආගමික ප්‍රජාවන්, සම්භවයන් ලෙස බෙදී ඇති සියළු සමාජ කණ්ඩායම් “නිර්ධන පංතිය පළමුව” යන මාක්ස්-ලෙනින්වාදි සටන් පාථය වටා සංවිධානය කිරීම හා සමානාත්මතාවය සඳහා නව ලිබරල්වාදයට එරෙහිව පොදු අරගලයක් වෙත ඔවුන් කැඳවීම හා සංවිධාන කිරීම පමණක් මෙයට එකම විසඳුම ලෙස ඉතිහාසය විසින් ලෝක සමාජවාදී ව්‍යාපාරයට තවදුරටත් ඉතුරු කර ඇත.