සුප්‍රකට ඔටෝමන් අධිරාජ්‍යය බිඳ වැටීමෙන් ලොව පුරා විසිරි ගොස් සිටින මිලියන 40 කට අධික කුර්දි ජනතාව වෙනුවෙන් සටන් කල තුර්කියේ සිරගත කර සිටින කුර්දි කම්කරු පක්ෂයේ(PKK) නායක අබ්දුල්ලා ඔචලාන් විසින් තුර්කි රාජ්‍යයට එරෙහිව සිදුකල සන්නද්ධ විමුක්ති සටන අවසන් වූ පවසා එවන ලද පෙබරවාරි 28 වන දින නිවේදනය නිසා සමස්ථ ලෝකයම විමතියට පත් වී ඇත. පසුගිය වසරේ දෙසැම්බර් මස සිරියාවේ බෂාර් එල් අසාඩ්ගේ රජය පෙරලා දැමු තුර්කි සහය ලැබූ ඉස්ලාම් වාදීන් ඉන් පසුව සිරියාවේ උතුරු ප්‍රදේශයේ එරට 30%ක පාලනය කරමින් ස්ථාපිත කරන ලද “කුර්දි රෝජාවා ස්වයං පාලිත රජය” පෙරලා දැමීමට කීප වරක්ම උත්සහ කරනු ලැබුහ. මෙම තත්වය හමුවේ තුර්කියේ කුර්දි PKK නායකයින් හා සිරියානු SDF සන්නද්ධ ගරිල්ලා ව්‍යාපාරය නව සිරියානු රජය වෙත දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින්නේ තම ස්වයං පාලන රජය විසින් ස්ථාපිත කරන ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසත්, තමන් යටතේ පවතින ගෑස් හා තෙල් වෙළඳාම සාර්ථක කර ගැනීමට අවශ්‍ය නම් අනාගත සිරියානු රජයේ ප්‍රධාන සහකාරයෙකු බවටත් තමන්ව පත් කර ගන්නා ලෙසටත් බල කරමිනි.
කුර්දි ජාතිකයන් යනු ඉන්දු-යුරෝපීය භාෂාව කතා කරන ප්‍රධාන වශයෙන් සුන්නි මුස්ලිම් ආගමට අයත් ඉරාන ජනතාවකි. ප්‍රධාන වශයෙන් ඔවුන් තුර්කිය, ඉරානය, ඉරාකය සහ සිරියාවේ ජීවත් වන මිලියන 30 සිට 40කට අයත් සටන්කාමි ජනතාවක් වේ. පළමුවන ලෝක යුද්ධයෙන් පසු ඔටෝමාන් අධිරාජ්‍යය බෙදීමේ ප්‍රතිඵලයක් ලෙස ඔටෝමාන් කුර්දිස්තානය ඉරාකය, ඉරානය, සිරියාව සහ තුර්කිය අතර බෙදී යාමට හේතු විණි. මෙම ජාතික රාජ්‍ය නිර්මාණ වීමේදී සුළුතර කුර්දි ජාතිකයන් අරාබි, තුර්කි හෝ පර්සියානුවන්ගේ සංස්කෘතීන් සහ භාෂාවන්ට බලහත්කාරයෙන් සංස්කෘතික සහ භාෂාමය උකහා ගැනීම මගින් මහ ජාතින් තුල බලෙන් ස්විකරණයකට භාජනය වන ලදී.
මේ නිසා සියවසක කාලයක් තිස්සේ, කුර්දි ජාතිකයන් තම එයතිහාසික කුර්දිස්ථානයේ ස්වයං නිර්ණය අයිතිය සඳහා 1923 සිට ඉරාකය, ඉරානය, සිරියාව හා තුර්කිය තුල සටන් කරමින් සිටි.
කුර්දි ජාතිකයන් සිරියාවේ විශාලතම ජනවාර්ගික සුළුතරය වන අතර, 2011 දී සිරියානු ජනගහනයෙන් සියයට 5 ත් 16 ත් අතර ප්‍රමාණයක් එනම් මිලියන 1.6 ත් 2.5 ත් අතර ජනතාවක් එහි ජිවත් වේ. නමුත් මෙම සංඛ්‍යාවලට අරාබිකරණය වූ කුර්දි ජාතිකයන් ඇතුළත් නොවේ. තුර්කිය තුල (මිලියන 14.4–16), ඉරානය තුල (මිලියන 7.9) සහ ඉරාකය (මිලියන 4.7–6.2) තුල කුර්දි ජාතිකයින් ජිවත් වේ.
තුර්කිය තුල කුර්දිස්ථානය නිදහස් කර ගැනීම සඳහා වූ සටනට නායකත්වය දෙනු ලබන්නේ අබ්දුල්ලා ඔචලාන් විසිනි. 1949 දී තුර්කි මවකට සහ කුර්දි පියෙකුට දාව උපත ලැබූ අබ්දුල්ලා ඔචලාන් 1970 දශකයේ මුල් භාගයේ තුර්කියේ අගනුවර වන අන්කාරා හි දේශපාලන විද්‍යාව පිලිබඳ ශිෂ්‍යයෙකු විය. රට තුළ වාමාංශික කණ්ඩායම් සමග කැලඹිලි සහිත සීත යුධ සමයේ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංවිධාන සමඟ ඔහු මේ කාලයේ කටයුතු කළේය.1978 දී, ඔචලාන් විසින් අනෙකුත් සිසුන් සමඟ එක්ව මාක්ස් ලෙනින්වාදී PKK හෙවත් කුර්දි කම්කරු පක්ෂය ආරම්භ කළේය. එය නිර්-ආගම්වාදී හා මාක්ස්වාදී දෘෂ්ටිවාදයෙන් පිරිපුන් ජාතිකවාදී සංවිධානයක් විය. ආරම්භයේ සිටම එහි අරමුණ වූයේ කුර්දි රාජ්‍යයක් නිර්මාණය කිරීමට මඟ පාදන එකම නීත්‍යානුකූල සංවිධානය ලෙස තමන්ව හඳුන්වා ගැනීමයි.
1980 දී තුර්කියේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය රටේ ප්‍රජාතන්ත්‍රවාදට මාරාන්තික පහරක් එල්ල කළේය. PKK සංවිධානය තහනම් කළ අතර කුර්දි භාෂාව හා සංස්කෘතික අංගද තුර්කිය තුල තහනම් කරන ලදී. ඔචලාන් සහ ඔහුගේ කාඩර්වරුන් සිරියාවට පලා යන අතර තුර්කි බලපෑම නිසා අසාඩ් රජය ඔවුන්ව එරටින්ද පිටුවහල් කරන ලදී. පසුව ලෙබනනයේ, බෙකා නිම්නයට ඔවුන් සංක්‍රමණය වන අතර, එහිදී PKK පක්ෂය සම්මේලනයක් පවත්වා තුර්කි භූමියේ “සන්නද්ධ අරගලය” පිළිබඳ ප්‍රතිපත්තිය නිල වශයෙන් (1984) දියත් කළහ. ඉන්පසු උතුරු කුර්දිස්තානයේ දිගු ගරිල්ලා යුද්ධ සහ දරුණු මර්දනයක් ආරම්භ වූ අතර, කුර්දි සහ තුර්කි ජාතිකයන් හතළිස් දහසකට අධික සංඛ්‍යාවක් මිය ගිය බව වාර්තා වේ.
1999 දී, තුර්කි රාජ්‍යයද , එක්සත් ජනපදය (1998) ද සහ පසුව යුරෝපීය සංගමය (2001) විසින් නිල වශයෙන් “ඔචලාන් ත්‍රස්තවාදියෙකු” ලෙස හා ඔහුගේ පක්ෂය ලොව පුරා රටවල තහනම් කරන ලදී. පසුව CIA , මොසාඩ් හා තුර්කි ඒකාබද්ධ මෙහෙයුමක් මගින් කුර්දි නායක අබ්දුල්ලා ඔචලාන් කෙන්යාවේදී අත්අඩංගුවට ගන්නා ලදී. රාජද්‍රෝහී චෝදනාව මත ඔහුට මරණ දඬුවම නියම වූ නමුත්, ඔහුගේ දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට 2002 දී පරිවර්තනය කර තුර්කිය අවට දිවයිනක් වන IMRALI හි දැඩි රැකවල් මැද සිරගත කරන ලදී.
කෙසේවෙතත් අබ්දුල්ලා ඔචලාන් යනු පවතින වාස්තතික තත්වයන් මත වෙනස් වන අතිදක්ෂ උපක්‍රම ශීලි ගරිල්ලා නායකයෙකු මෙන්ම දේශපාලන චින්තකයෙකු ද වේ. 1989 සමාජවාදී කඳවුර බිඳ වැටීම හේතුවෙන් තමන්ට මේ දක්වා ලැබෙමින් පැවතුනු වාමාංශික පක්ෂ වල සහය අවම වෙමින් තිබිණි. ඒ වන විට ජාත්‍යන්තර වාමාංශික ව්‍යාපාර තුල පවතින බෙදීම්, ගැටුම් මනාව අධ්‍යයනය කල ඔහු ඒ වන විට යුරෝපය තුල වඩා හොඳින් හිස ඔසවමින් තිබුණු අන්ත වාමාංශික අරාජික වාදී සංවිධාන තම අරගලය සඳහා ලං කර ගැනීම සඳහා මාක්ස් ලෙනින්වාදය අතහැර බකුනින්-පෘදොන් වාදය දෙසට තම සංවිධානය යොමු කළේය.
තමන්ගේ අත් අඩංගුවට පත්වීම නිසා PKK ගරිල්ලා සංවිධානය හා සහෝදර ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා 2000 සිට, ඒ අනුව ඔහු සන්නද්ධ අරගලය අවසන් කරන බවට නිවේදනය කළේය.
කුර්දිස්ථාන වෙනම රාජ්‍යයක් සඳහා වූ නිදහස් අරගලය වෙනුවට ස්වයං පාලනයක් දක්වා වූ තම වැඩ පිළිවෙල ඒ අනුව වෙනස් කළේය. අවසානයේ ඇමරිකානු අරාජිකවාදී චින්තකයෙකු වන මරේ බුක්චින්ගේ ඉගැන්වීම් වල ආභාෂය ලැබූ ඔහු දේශීය ස්වයං-සංවිධානය මත පදනම් වූ අන්තර්ජාතික උපාය මාර්ගයක් වන “ප්‍රජාතන්ත්‍රවාදී කොන්ෆෙඩරල්වාදය” න්‍යායාත්මක කළේය. එය පැහැදිලිවම මාක්ස්-ලෙනින්වාදී ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යකරණයෙන් බැහැර වී ප්‍රජාතන්ත්‍රවාදී ෆෙඩරල් වාදය හා බැඳුනු (auto-gestion) ස්වයං ආර්ථික ෆෙඩරල් වාදය හා බැඳුනු බකුනින්-පෘදෝන් වාදි ව්‍යාපෘතියක් විය.
2012 සහ 2015 අතර කාලය තුළ, ඔචලාන් ගේ මෙම නව මාවත තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගන් සමඟ සාකච්ඡා සඳහා ප්‍රධාන පදනම ලෙස යොදා ගනු ලැබුවේ කුර්දි ජාතික ප්‍රශ්ණය සඳහා සාමකාමී විසඳුමක් අපේක්‍ෂා කරමිනි. මේ කාලය වන විට 2011 සිට ටියුනීසියාවෙන් ආරම්හ වී ලිබියාව, ඊජිප්තුව හරහා පැමිණි අරාබි වසන්තය සිරියාව ද වෙලා ගත් අතර 2013 වන විට සිරියානු හමුදා බහුතර කුර්දි ජනතාවක් වෙසෙන “රෝජාවා “හි උතුරු-නැගෙනහිර ප්‍රදේශයෙන් ඉවත් වන ලදි. එහිදී අබ්දුල්ලා ඔචලාන්ගේ PKK සංවිධානයේ සිරියානු කණ්ඩායම වන YPG(එක්සත් ජනතා ආරක්ෂක) ගරිල්ලා සංවිධානය එම ප්‍රදේශ අල්ලා ගන්නා ලදී. මේ වන විට සිරියානු විරෝධී විපක්‍ෂයේ සන්නද්ධ ව්‍යාපාර දැඩි ඉස්ලාම් මතධාරී අල්කයිඩා හා ISS සංවිධාන වලට සමීප වීම නිසා කුර්දි ගරිල්ලා ව්‍යාපාරය ඇමරිකානු සහය ඇතිව ඔවුන්ට එරෙහිව සටන් කරනු ලැබිණි.
ඉන්පසුව මුදා ගත් සිරියාවේ රෝජාවා කලාපය අබ්දුල්ලා ඔචලාන්ගේ නව අරාජිකවාදී-ෆෙඩරල් සංකල්පය මත පදනම්ව 2015 ගිම්හානයේදී, උතුරු සිරියාවේ රොජාවා හි ස්වයං පාලන ආණ්ඩු ක්‍රමයකට පරිවර්තනය කරන ලදී.
තුර්කියේ දකුණු ප්‍රදේශයේ බිහිවූ මෙම මෙම නව ආණ්ඩුවට බිය වූ තුර්කි.- අන්කාරා පාලනය එය තම රටේ වෙසෙන මිලියන 20ක කුර්දි ජනතාව සමග එක්වී වෙනම රාජ්‍යයක් බිහිවීමට ඉඩ ඇති බව පවසමින් අබ්දුල්ලා ඔචලාන් හා PKK සංවිධානය, සමග පැවැත්වූ සාකච්චා හදිසියේම අවසන් කළේය.
සිරියාවේ මිලියන දෙකක කුර්දි ජනතාවක් වාසය කරන අතර ඔවුන් එරට ජනගහනයෙන් 10%ක් නියෝජනය කරනු ලබයි. ඔවුන් ඇතැම් විට ආරාබි ජනතාව තුලට හා ක්‍රිස්තියානි ජනතාව තුලටද ස්වීකරණය වූ ජනතාවක් ද වේ. කුර්දි YPG(පසුව SDF) ගරිල්ලා ව්‍යාපාරය මුදා ගත් රෝජාවා කලාපය තුල ඔවුන් විසින් “පැරිස් කොමියුනයේ ආභාෂය සහිත සමාජවාදී සංකල්ප සහිත නව ස්වයං පාලිත ආණ්ඩු ක්‍රමයක්” බිහි කරන ලදී. අබ්දුල්ලා ඔචලාන් අපේක්ෂා කල පරිදිම ලොව පුරා වෙසෙන අරාජිකවාදී හා මාක්ස්ලෙනින්වාදී පක්ෂ වල ජාත්‍යන්තර වාදීන් මෙම කලාපය තුලට පැමිණ සිරියානු හමුදාවන්ට හා ISS ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව සටන් කරන්නට විණි.
ඉතා කෙටි කාලයක් තුල සිරියානු SDF ගරිල්ලා සංවිධානයේ YPG කාන්තා භටයින් ඉතා අභීත ලෙස සටන් කරමින් ඉස්ලාම් අන්තවාදීන් පලවා හැර ඉස්ලාම් ත්‍රස්ත්‍රයින් 40000ක් අත්අඩංගුවට ගැනීමටද සමත් විණි. මෙම විප්ලවීය ජයග්‍රහණයන් ලොව පුරා යුරෝපීය වාමාංශික ව්‍යාපාරයන්ට දැඩි ආශ්වාදයක් ලබා දුන් අතර ඔවුන් ඍජුවම ගරිල්ලා ව්‍යාපාරය සමග සම්බන්ධ වුයේ සිරියානු කඳු මත බිහිවූ මෙම ලදරු සමාජවාදී කොමියුනය(AANES) දිවි පරදුවට තබා ආරක්ෂා කර ගැනීමටය.
උතුරු සහ නැගෙනහිර සිරියාවේ ස්වයං පාලන පරිපාලනයට (AANES) යනු විවිධ ජාතිකත්වයන්ට අයත් මිලියන හතරක ජනතාවකින් සමන්විත බහු-වාර්ගික ආණ්ඩුවක් වේ. එහි කුර්දි නාමය රොජාවා ලෙස හඳුන්වන අතර මෙම රජය එයතිහාසික යුප්‍රටීස් සහ ටයිග්‍රිස් ගංගා අතර කලාපය තුල කේන්ද්‍රස්ථාන වී ඇත.
AANES ස්වයං පරිපාලන ආණ්ඩුව තුල දේශීය සංවේදීතාවන්ට යම් විවෘතභාවයක් පෙන්නුම් කර ඇත. රාජ්‍ය තාන්ත්‍රික සහ හමුදා බහුතර කුර්දි ජාතිකයන් විසින් ආධිපත්‍යය දරනු ලැබුවද, රක්කා සහ අනෙකුත් අරාබි ප්‍රදේශවල ලෞකික අධ්‍යාපනය, සෞඛ්‍ය, හමුදා සේවය, තෙල් පරිභෝජන, වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල නියම කිරීම සහ විවාහ නීතිය, කාන්තා අයිතිවාසිකම් වැනි ක්ෂේත්‍රවල සියළු ජාතීන්ට සමානාත්මතාවය හිමි වී ඇත. ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනවාදයේ හි අරමුණ වන්නේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, පරිසර විද්‍යාව, විවිධ ප්‍රජාවන් අතර සාමය සහ සමානාත්මතාවය ආරක්ෂා කිරීමයි.
මෙම ආණ්ඩු ව්‍යුහය තුළ, ජනතාව සෘජු ප්‍රජාතන්ත්‍රවාදය හරහා, අදාළ භූගෝලීය අවකාශයක ජීවත් වන පවුල් දුසිම් කිහිපයකින් සැදුම්ලත් “කොමියුනියන්” හෝ ප්‍රාදේශීය ගම් සභාවන් ලෙස හඳුන්වන දේශීය ආයතන තුළ ස්වාධීනව සංවිධානය වේ. මෙම ගම් සභා තුල ඔවුන් ස්වයංව දේශීයව යුක්තිය පසිඳලීම, ආත්මාරක්ෂාව, අධ්‍යාපනය සහ ආර්ථිකය හා සාමූහික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ පරිමාණයන්ගෙන් ඍජුව එක්ව කටයුතු කරයි.
“මෙම ස්වයං-සංවිධානයට ඓතිහාසික මූලයන් ඇත: එය පවුල් සභා, ගෝත්‍රික සභා වීමට පෙරම මෙවැනි ව්‍යුහයන් දක්නට ලැබුණා. නමුත් අපි ගොඩනඟන ප්‍රජාතන්ත්‍රවාදී සභාවන් තුල ප්‍රජාවන් සම්බන්ධ වනුයේ ගෝත්‍රික හෝ ලේ සබඳතා මත පදනම්ව නොවේ. ගම් සභා තුලට සෑම කෙනෙකුටම සහභාගී විය හැකි අතර, එය පසුගාමී ගතානුගතිකත්වයට එරෙහිව සටන් කිරීමට බල කරනා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වෙනවා. මෙම ආයතන තුල ජාතිවාදය, පුරුෂ අධිපත්‍යය, හා ආගම්වාදය තහනම් කරනු ලැබ ඇත”. යයි එහි කුර්දි මන්ත්‍රීවරයෙකු මාධ්‍ය වෙත පවසා සිටි.
2012 ජූලි 19 වන දින සිරියානු ජාතික කවුන්සිලය වන SDF තුළ කුර්දි පක්ෂය PYD (ප්‍රජාතන්ත්‍රවාදී සංගම් පක්ෂය) හා සම්බන්ධ ස්වයං ආරක්ෂක බලකායක් වන YPG හි සටන්කරුවන්, ජනගහනයෙන් සැලකිය යුතු කොටසකගේ සහාය ඇතිව රෝජාවාහි කොබානේ නගරයේ පාලනය අත්පත් කර ගත්හ. 2013 දී, SDF විසින් යුධ පුහුණුව ලත් දේශපාලන විධායකයින්ගෙන් සමන්විත වූ, විධායක බලයක්, ස්වයං පාලන පරිපාලනය, සිරියාවේ උතුරේ කලාපයේ ස්ථාපිත කරන ලදී. එයට සිරියාවේ උතුරු කලාපයේ අරාබි ජාතිකයින්, සිරියැක්වරු, ආර්මේනියානුවන්, තුර්ක්මන් වරුන් සහ එසිඩි ජාතිකයින් ඇතුළු විණි. ඉන් පසුව මෙම නව ආණ්ඩුව “කුර්දි සමාජවාදී රෝජාවා කොමියුනය” ලෙස ලොව පුරා ප්‍රකට විණි.
රෝජාවා හි කොමියුන ගම් සභා 91ක් පිහිටුවන ලදී. එක් කොමියුනයකට පවුල් 100 සිට 150 දක්වා ප්‍රමාණයක් ඇතුළත් වේ. මෙම සෑම ගම් සභාවකම සම සභාපතිවරුන් දෙදෙනෙකු සහ කොමිෂන් සභා හයක් ඇත: සේවා, සෞඛ්‍ය, සාමය (යුක්තිය), ආත්මාරක්ෂාව, ආර්ථිකය, දේශපාලන සංවිධාන ලෙස බෙදා ඇත. ඔවුන් සතිපතා රැස් වේ. සෑම රැස්වීමකදීම ලිඛිත වාර්තා සකස් කර AAENS ප්‍රධාන ස්වයං පාලන ආණ්ඩුව වෙත යවනු ලැබේ. සෑම මසකම 20 වන දින, මාසික වාර්තාවක් සකස් කරනු ලැබේ. සැප්තැම්බර් මාසයේදී ගම් සභා සභාපතිවරුන් සඳහා මැතිවරණ පැවැත් වෙන අතර තේරී පත් වූ පසු, සම සභාපතිවරුන් කොමිසන් සභා නායකයින්ව තෝරා ගනී. පළාත් මට්ටමේ විසඳිය නොහැකි ජනතාවගේ ඉල්ලීම් සහ අවශ්‍යතා ඉහළ මට්ටමකට (දිස්ත්‍රික්කය, නගරය, කලාපය ආදිය) ගෙනයාම සඳහා ගම් සභා නියෝජිතයින් ඒ සඳහා මැදිහත් වේ.
2016 මාර්තු මාසයේදී, උතුරු සිරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනය හමුදා SDF හෝ (FDS) යලි ප්‍රතිසංවිධානය කරන ලද අතර, එහි අරමුණ වූයේ ස්වයං පාලන පරිපාලනයේ(AANES ) සහාය ඇතිව එහි දේශපාලන ව්‍යාපෘතිය තුළ කලාපයේ සියලුම ජනගහනය එක්රැස් කිරීමයි. එය ජනගහනයේ සියලුම සංරචක, විශේෂයෙන් YPG (මහජන ආරක්ෂණ ඒකක), ප්‍රධාන වශයෙන් කුර්දි, නමුත් අරාබි සහ සිරියානු හමුදා කණ්ඩායම් ආදිය එක්සත් කරන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව (SDF) විසින් මිලිටරිමය වශයෙන් ආරක්ෂා කරනු ලැබේ. SDF යනු ස්වයං ආරක්ෂක බලකායක් ලෙස අර්ථ දක්වා ඇති අතර, SDF සහ එහි පුරවැසියන් බාහිර ප්‍රහාරවලින් ආරක්ෂා කිරීම සඳහා වගකියනු ලැබේ.
අවසාන වශයෙන්, දේශපාලන පක්ෂ, ස්වයං පාලන පරිපාලනය සහ සිවිල් සමාජයේ නියෝජිතයින්ගෙන් සමන්විත සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී කවුන්සිලය AANES උතුරු සිරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනය යන නාමය යටතේ පිහිටුවන ලද සමාජ ගිවිසුමකින් ස්ථාපිත කර ඇත. මෙය ජනවාර්ගික, ආගමික, ස්ත්‍රී පුරුෂ භාවය යනාදී සියලුම ජන කණ්ඩායම්වල නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය වීම සඳහා අවශ්‍ය අයිතිවාසිකම් සහතික කරයි. උතුරු සිරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනය භූගෝලීය මූලධර්මයක් සහ දේශපාලන හා පරිපාලන විමධ්‍යගතකරණයක් මත පදනම් වේ.
සම්මුතිවාදී ප්‍රජාතන්ත්‍රවාදී ෆෙඩරල් ක්‍රමය මඟින් සාමූහික සාකච්ඡාව, තීරණ ගැනීම සහ කළමනාකරණය සඳහා සියලුම පුද්ගලයින්ගේ සහ සියලුම සමාජ කණ්ඩායම්වල සමාන සහභාගීත්වය සහතික කෙරේ. ජනතාව අතර අන්‍යෝන්‍ය සහජීවනය සහ සහෝදරත්වය පිළිබඳ මූලධර්ම මත පදනම්ව, ප්‍රජාතන්ත්‍රවාදී ෆෙඩරල් ක්‍රමය, එක් එක් කණ්ඩායමේ වාර්ගික හා ආගමික වෙනස්කම් සැලකිල්ලට ගනී. එය සියලු ජනයාගේ අයිතිවාසිකම් සහ යුතුකම් සම්බන්ධයෙන් සමානාත්මතාවය සහතික කරයි, මානව හිමිකම් ප්‍රඥප්තිවලට ගරු කිරීම සහ ජාතික හා ජාත්‍යන්තර සාමය ආරක්ෂා කරනු ලබන බවට ද සහතික වේ.
ස්වයං පාලිත ආණ්ඩුවේ පරිපාලනය තුල තීරණ ගැනීමේදී කුර්දි, අරාබි සහ සිරියැක් යන භාෂා තුනෙන්ම ප්‍රකාශයට පත් කෙරේ. සෑම දරුවෙකුටම තම මව් භාෂාවෙන් මෙන්ම වෙනත් භාෂාවකින් ඉගැන්වීමේ අයිතිය ඇත. AANES හෝ එයට සම්බන්ධ කණ්ඩායම් (සිරියැක්, යසිඩි, ආදිය) තුළ, කාන්තාවන් මිශ්‍ර ව්‍යුහයන්හි සහභාගීත්වයට අමතරව, පවතින ආයතන සම්බන්ධයෙන් සමාන්තර, ස්වාධීන සහ මිශ්‍ර නොවන ආකාරයකින් සංවිධානය වීමට ද ඔවුන්ට අවසර ඇත. ඔවුන්ට අදාළ සියලු තීරණ සම්බන්ධයෙන් නිෂේධ බලය පැවරීමේ අයිතිය ඔවුන්ට ඇත. සම-සභාපති ධුරයට අමතරව, මිශ්‍ර ව්‍යුහයන්හි අවම ආසනවලින් 40% ක කෝටාවක් කාන්තාවන් සඳහා වෙන් කර ඇත.
AANES ප්‍රඥප්තිය තුළ කාන්තාවන් සහ පිරිමින් අතර පූර්ණ සමානාත්මතාවය තහවුරු කර ඇති අතර, බහු විවාහය සහ බලහත්කාරී විවාහ තහනම් කර ඇත. සමුපකාර ලෙස සංවිධානය වූ ආර්ථික විමුක්ති ව්‍යුහයන් වන පොදු අවන්හල්, සමූහ ගොවිපලවල්, රෙදිපිළි නිෂ්පාදනය සඳහා මැදිහත් වීම මගින් කාන්තාවන්ට තම පවුල්වල අවශ්‍යතා සපුරාලීමට සහ ස්වාධීනත්වය ලබා ගැනීමට හැකියාව ලැබේ. කාන්තා නිවාස ඔවුන්ට තම අයිතිවාසිකම් තහවුරු කිරීමට සහ ගෘහස්ථ හා පවුල් හිංසනයට එරෙහිව සටන් කිරීමට සංවිධානාත්මක අවකාශයක් ලබා දෙයි. කාන්තා ඇකඩමිවල කුර්දි භාෂාව, ඉතිහාසය, සෞඛ්‍යය මෙන්ම රිය පැදවීම හෝ ආයුධ හැසිරවීම ඉගෙන ගැනීම සඳහා ක්ෂේත්‍ර කිහිපයක පුහුණුව සංවිධානය කර ඇත. ඔවුන්ට පන්ති, ආගම් හෝ වාර්ගික භේදයකින් තොරව එහි යා හැකිය. අවසාන වශයෙන්, මෙම ආයතන කාන්තාවන්ගේ ආරක්ෂාව සහතික කරන සහ සමාජයේ ආරක්ෂාව සඳහා සහභාගී වීමෙන් ඔවුන්ට තමන්වම නිදහස් කර ගැනීමට අවශ්‍ය විමුක්තිය ලබා දෙන කාන්තා ආත්මාරක්ෂක බල කායන් ලෙස ක්‍රියාත්මක වේ.
ආර්ථික කේෂ්ත්‍රයන් තුල උතුරු සිරියාවේ නව රජය තිරිඟු සහ කපු වගාවන් යලි සක්‍රීය කර ඇත. තුර්කියේ සහ ඉරාකයේ කුර්දිස්ථාන ප්‍රාදේශීය රජය AANES ස්වයං පාලනයට සතුරු වන නිසා තම දේශීය ආර්ථිකය දියුණු කර ගැනීමට අරගල කරමින් සිටී. සම්බාධක හේතුවෙන් තෙල් හා ගෑස් බලශක්තිය, ආහාර හෝ අධ්‍යාපන අංශ සඳහා අවශ්‍ය උපකරණ ආනයනය කළ නොහැක. රෝහල්වල නවීන උපකරණ නොමැති අතර ඖෂධ හිඟයක් ද පවතී, AANES නිල වශයෙන් පිළිගත් රාජ්‍යයක් නොවන බැවින්, ප්‍රධාන ජාත්‍යන්තර සංවිධාන පවසන්නේ ඔවුන්ට එයට සහාය දිය නොහැකි බවයි. ආර්ථිකයෙන් විශාල කොටසක් තවමත් යුද කටයුතු සඳහා කැප කර ඇත. අමුද්‍රව්‍ය නොමැතිකම හේතුවෙන් සම්බාධක මගින් සංවර්ධනය සැලකිය යුතු ලෙස වළක්වන ලබන අතර, විශේෂයෙන් ආහාර නිෂ්පාදනය අඩු වීමෙන් මිල ගණන් ඉහළ යාමට හේතු වී ඇති නිසා 2013 සිට වෙළඳාම, කෘෂි නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය හා පුද්ගලික ව්‍යාපාර දිරිමත් කර ඇත.
ආහාර සහ බලශක්ති නිෂ්පාදනය ප්‍රතිව්‍යුහගත කිරීම, කෘෂිකාර්මික ක්ෂේත්‍රය විවිධාංගීකරණය කිරීම, සමුපකාර නිර්මාණය කිරීමට ජනගහනය දිරිමත් කිරීම, තමන් ද ක්‍රියාකාරීන් වන ව්‍යාපෘති තුල මූල්‍යමය වශයෙන් ආයෝජන කිරීම ද, දේශීය නිෂ්පාදන වැඩි දියණු කිරීමද දිරිමත් කර ඇත. උද්ධමනයට එරෙහිව සටන් කිරීම සඳහා නිෂ්පාදන සමුපකාර තම නිෂ්පාදනය සඳහා අඩු මිලකට ප්‍රවේශය සහතික කරයි. ඒවා සාමූහිකව පවත්වාගෙන යනු ලබන අතර, ලාභ බොහෝ දුරට සාධාරණ ලෙස බෙදා හරිනු ලැබේ.
විශාල ඉඩම් හිමියන් සතු ඉඩම් පවරාගෙන නොමැති වුවද, මෙම ක්‍රමය මගින් ඔවුන්ගේ ක්‍රියා කාරකම් සහ මිල ගණන් වෙනස් කිරීමට ඔවුන්ගේ අයිතිය දිරිමත් කරනු ලැබේ. 2013 සිට සමුපකාර සමිති ගණන වැඩි වෙමින් පවතී. රජය සතු ඉඩම් වලින් සමූහ ගොවි ජනපද නිර්මාණය කරමින් කෘෂි නිෂ්පාදන, බේකරි නිෂ්පාදන හා කාර්මික නිෂ්පාදන වේගවත් කර ඇත.
මෙම කලාපය තෙල් වලින් පොහොසත් වුවත්, සිරියානු ඛණිජ තෙල් පිරිසිදු භාවය අතින් අවම නිසා ඒවා පිරිපහදු කිරීමට අවශ්‍ය උපකරණ ඇතුළුවීම සම්බාධක මගින් වළක්වා ඇත. එබැවින්, බොරතෙල් අතරමැදියන් හරහා විකුණනු ලැබේ, නැතහොත් වෙනත් රැකියා අවස්ථා නොමැති කම්කරුවන් විසින් පරිසරයට හානි කරමින් දේශීය ක්‍රම යොදා ගනිමින් පිරිපහදු කරනු ලැබේ. 2020 ගිම්හානයේදී, AANES විසින් ඇමරිකානු සමාගමක් වන ඩෙල්ටා ක්‍රෙසන්ට් එනර්ජි සමඟ තෙල් පිරිපහදු කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කරන බව නිවේදනය කරන ලද අතර එමඟින් කාර්මික ස්ථාපනයන් නැවත ආරම්භ කිරීමට සහ වඩා හොඳ ඉන්ධන සැපයුමක් ලබා ගැනීමට අපේක්ෂා කරනු ලැබේ. එහි ප්‍රථිපලයක් ලෙස සිරියානු නව රජයේ මූලාශ්‍රවලින් ලබාගත් තොරතුරුවලට අනුව, ගිවිසුම මගින් දිනකට තෙල් බැරල් 150,000 ක් සහ ගෑස් ඝන මීටර් මිලියනයක් නැව්ගත කිරීම සඳහා ඉලක්ක කර ඇත.
මේ නිසාම ඇමරිකාවද සිරියානු උතුරු කලාපයේ තෙල් නිධි පිලිබඳ අවධානයෙන් පසු වේ. තෙල් හා ගෑස් නිධිවලින් බහුතරයක් පිහිටා ඇත්තේ යුප්‍රටීස් ගඟට නැගෙනහිරින් පිහිටි සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවන්ගේ(SDF) පාලනය යටතේ පවතින ප්‍රදේශවල ය.
කෙසේවෙතත් 2019 ඔක්තෝම්බර් මාසයේදී, තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගන් සමඟ දුරකථන සංවාදයකින් පසු, ජනාධිපති ට්‍රම්ප්ට ඊසානදිග සිරියාවෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමට අවශ්‍ය වූ බව නිව්යෝර්ක් ටයිම්ස් සිහිපත් කරයි. ඉන්පසු තුර්කි හමුදා කුර්දි ස්වයං පාලිත ආණ්ඩුවට එරෙහිව මාරාන්තික ප්‍රහාරයක් දියත් කළ අතර, 300,000 කට අධික පිරිසකට තම නිවෙස්වලින් පලා යාමට සිදුවිය. 2019 සිදුවීම නැවත සිදුවනු ඇතැයි යන බිය, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැවත පැමිණීමත් සමඟ යළිත් මතුවෙමින් පවතින අතර, තුර්කිය ISS ත්‍රස්ත සංවිධානයට එරෙහිව සටන් කිරීම ද සැක සහිත බව නිව් යෝර්ක් ටයිම්ස් විසින් පුවත් පත පවසා සිටි.
නමුත් ට්‍රම්ප් පවසන්නේ සිරියාව අපගේ සටනක් නොවන බවයි. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමීප අය සහ ඔහුගේ පරිපාලනය තුළ විදේශ ප්‍රතිපත්ති සහ ආරක්ෂක නිලධාරීන් පවසන්නේ කුර්දි කලාපවලට එරෙහිව ප්‍රහාරයක් එල්ල වුවහොත් තුර්කියට සම්බාධක පනවන බවට සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් තර්ජනය කර ඇති බවයි. එය “ඇමරිකානු අවශ්‍යතාවලට අනතුරක් වනු ඇත” යයි රාජ්‍ය ලේකම් ධුරයට පත්වීමට නියමිතව සිටි මාර්කෝ රුබියෝ, 2019 දී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් “කුර්දි ජාතිකයන් අතහැර දැමීම” හෙළා දුටුවේය.
කෙසේවෙතත් සිරියාවේ කුර්දි ප්‍රදේශවල ස්ථානගත කර ඇති ඇමරිකානු හමුදා සංඛ්‍යාව 900 සිට 2,000 දක්වා වැඩි වී ඇති බව පෙන්ටගනය පිළිගත් බව වොෂින්ටන් පෝස්ට් සඳහන් කරයි. ඒ අනුව සිරියාවේ කුර්දි කලාපය තුර්කියට මෙන්ම බටහිරට පමණක් නොව ඇමරිකාවටද අත්‍යවශ්‍ය කලාපයක් බව එමගින් සනාථ වේ.
පසුගිය දෙසැම්බරයේ සිට තුර්කි හිතවාදී සිරියානු නව පාලනයේ හමුදා (SNA) සහ කුර්දි හිතවාදී හමුදා (SDF) අතර ගැටුමක් උත්සන්න වීමට හේතු විය හැකි බවත්, එය ISS සංවිධානයට එරෙහි සටනෙන් අවධානය වෙනතකට යොමු කරන බවත්, දැනට කුර්දි බන්ධනාගාරවල රඳවා සිටින 40000ක් ඉස්ලාමීය සටන්කරුවන් නිදහස් කිරීමට හේතු විය හැකි බවත් ධවල මන්දිරය බියෙන් පසුවන බවත් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කරයි.
2024 දෙසැම්බර් මස උතුරු සහ බටහිර සිරියානු ප්‍රදේශවල බෂාර් අල්-අසාද් පාලනය පෙරලා දැමීමෙන් පසුව, සිරියානු කුර්දි ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවන්ගේ (SDF) මිලිටරි බලය සහ කුර්දි ආධිපත්‍යය දරන ස්වයං පාලන පරිපාලනයේ (AANES) දේශපාලන බලයට එරෙහිව තුර්කිය තම කාලතුවක්කු, බෝම්බ හෙලන ගුවන් යානා සහ ඩ්‍රෝන යානා භාවිතා කරමින් නව පාලනයට සම්බන්ධ අන්තවාදී සංවිධාන හරහා සිරියාව තුල කුර්දි විරෝධී ප්‍රහාර එල්ල කරනු ලැබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, මෑත සතිවලදී, 100කට අධික පිරිසක් මිය ගොස්, අතිමහත් බහුතරයක් වන කුර්දි ජාතිකයන් 100,000 කට අධික පිරිසක් ගැටුම් නිසා අනාථ වී තිබිණි.
කෙසේ වෙතත්, SDF ජෙනරාල් කුර්දි ප්‍රධානී මැස්ලූම් අබ්ඩි විසින් සිරියානු නව රජය සමඟ සාකච්ඡා කිරීමට කොන්දේසි හතරක් ඉදිරිපත් කර ඇත. එනම් පශ්චාත්-අසාද් සිරියානු හමුදාවට SDF මිලිටරි හමුදාව ඒකාබද්ධ කිරීම, උතුරු සහ බටහිර ප්‍රදේශවල ස්වයං පාලන පරිපාලනය වන AANES ව්‍යුහය පිළිගැනීම, උතුරු නැගෙනහිර කලාපයේ සියළු ප්‍රජාවන්ගේ, කාන්තාවන්ගේ සහ විවිධ ආගම්වල අයිතිවාසිකම්වලට ගරු කිරීම සහතික කිරීම සඳහා නව සිරියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට සහබාගි කරවා ගැනීම; බලශක්ති සම්පත් පාලනය සඳහා සහ AANES ඔවුන්ගේ පරිපාලනය සහ සිරියානු රජය අතර ගෑස් සහ තෙල් ආදායම් සාධාරණ ලෙස බෙදා හැරීමක් ද ඉල්ලා සිටීයේය.
එහෙත් තුර්කිය සටන් විරාමයක් සලකා බැලීම ප්‍රතික්ෂේප කරන අතර කුර්දි ජාතිකයින් සඳහා නිශ්චිත අයිතිවාසිකම් පිළිගැනීමට ද විරුද්ධ විණි. තුර්කිය අනිසි ලෙස සිරියානු කටයුතුවලට මැදිහත් වෙමින් සිරියාවේ ප්‍රතිසංස්කරණයට සහභාගී වන එහි ආයෝජකයින් සහ සමාගම්වල ආර්ථික බලය ද ප්‍රබල ලෙස භාවිතා කරමින් සිටි.
නමුත් බටහිර, කටාර් හා සෞදි අරාබිය සිරියාව හරහා යුරෝපය වෙතට ගෑස් නලයක් නිර්මාණය කිරීමට උත්සහ කරමින් සිටින්නේ රුසියාවෙන් එල්ලවන ගෑස් අපනයනය මත යැපීම අවම කර ගැනීම සඳහාය. කටාර් රාජ්‍යය ඩොලර් බිලියන 6කට අධික යුධ ආධාර අල්කයිඩා ඇල් නුස්රා හා ISS සංවිධාන වලට සිර්යානු රජය පෙරලා දැමීමට වියදම් කරනු ලැබුවේ මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමටය. නමුත් තුර්කිය පවසන්නේ සිරියානු උතුරු කලාපයේ සන්නද්ධ ව්‍යාපාරයක් පැවතීම නිසා තම රටේ දකුණු ප්‍රදේශයේ PKK සංවිධානය ශක්තිමත් වී නව නිදහස් කුර්දිස්ථාන රටක් බිහිවී තුර්කිය දෙකඩ විය හැකි බවයි.
නමුත් ඇමරිකාවේ හා බටහිර බලපෑම මත පෙබරවාරි 22 වන සෙනසුරාදා සිරියානු පරිපාලනය සහ කුර්දි (SDF) අතර එකඟතාවයකට එළඹුණු අතර, එමඟින් දෙපාර්ශ්වය අතර ඇති විය හැකි ආතතීන් අවසන් විය. උතුරේ සිට සිරියානු අගනුවර දක්වා තෙල් සැපයුම් ආවරණය කරන මෙම ගනුදෙනුව මගින් පිරිපහදු කළ නිෂ්පාදන සඳහා රටේ අවශ්‍යතා දිනකට බැරල් 100,000 ත් 200,000 ත් අතර ප්‍රමාණයක් වෙළඳ පලට එවීමට දෙපාර්ශවය එකඟ වී ඇත. යුද්ධයට පෙර ඒවා බොහෝ දුරට ආවරණය වූයේ දිනකට බොරතෙල් බැරල් 400,000 ක නිෂ්පාදනයකිනි.
නමුත් 2011 දී ගැටුම ආරම්භ වූ දා සිට දේශීය නිෂ්පාදනය බිඳ වැටී ඇති අතර, සැපයුම් සඳහා රට ඉරානය මත යැපීමට පටන් ගෙන තිබේ. කුර්දි පාලනය සහ නව පරිපාලනය අතර සබඳතා වැඩිදියුණු කිරීමට අමතරව, මෙම ගනුදෙනුව මගින් සිරියාවට පසුගිය දශකය තුළ උග්‍ර වූ විදුලිබල බිඳවැටීම් අර්බුදය සමනය කිරීමට ඉඩ සැලසෙන අතර, එමඟින් රටේ විදුලි බලාගාර නැවත ආරම්භ කිරීමට ද හැකි වනු ඇත. සිය හදිසි අවශ්‍යතා සඳහා සිරියාව බොරතෙල් බැරල් මිලියන 4.2 ක් මෙන්ම ඉන්ධන සහ ඩීසල් ටොන් 100,000 ක් ආනයනය කිරීමට උත්සාහ කරමින් සිටින අතරතුර මෙම ආර්ථික ගිවිසුම සඳහා දෙපාර්ශ්වය එකඟ විනි.
ඉන් පසුව සිරියානු කුර්දි හමුදාවන්ගේ නායකයා බදාදා ප්‍රකාශ කළේ බෂාර් අල්-අසාද් බලයෙන් පහ කළ නව සිරියානු රජය සමඟ එකඟතාවයකට පැමිණි බවයි. රටේ ඕනෑම භෞමික “බෙදීමක්” ප්‍රතික්ෂේප කිරීම මෙන්ම “සිරියාවේ ඒකීය භාවය සහ භෞමික අඛණ්ඩතාවයේ වැදගත්කම පිළිබඳව අපි එකඟ වූ අතර, රටේ එක්සත්කමට තර්ජනයක් වන ඕනෑම බෙදීමේ සැලැස්මක් අපි ප්‍රතික්ෂේප කරමු,” යයි සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා (SDF) නායක මැස්ලූම් අබ්ඩි AFP වෙත පවසා සිටියේය.
නමුත් තුර්කිය මෙම ගිවිසුම නොපිළිගත් අතර තම රට තුල බෙදුම්වාදී PKK සංවිධානයේ නැගීම පෙන්වමින් සිරියානු ස්වයං පාලිත රෝජාවා ආණ්ඩුව පෙරලා දැමීමට තුර්කිය විවිධ හේතු ඉදිරිපත් කරමින් සිටින්නේ කුර්දු හමුදා කඳවුරු වලට ප්‍රහාර එල්ල කරමිනි. නමුත් පෙබරවාරි 27 වන බ්‍රහස්පතින්දා කුර්දිස්ථාන කම්කරු පක්ෂයේ (PKK) නායක අබ්දුල්ලා ඔකලාන් විසින් සන්නද්ධ ව්‍යාපාරය විසුරුවා හැර අවි බිම තබන ලෙස තුර්කි සිර කඳවුරේ සිට කරන ලද නිවේදනයෙන් තුර්කිය කණපිට ගැසුවේය.
අබ්දුල්ලා ඔචලාන් තම නිවේදනයෙන් මෙසේ පවසා සිටියේය.
“අභ්‍යන්තර ආතතීන් හා ගැටුම් හේතුවෙන් 1990 දශකයේදී සෝවියට් සංගමය හා සමාජවාදී කඳවුරේ බිඳවැටීම මෙන්ම, තුර්කිය තුළ ජනවාර්ගික අනන්‍යතාවන්ට හානි කරන ප්‍රතිපත්ති ද බිඳවැටීම මෙන්ම ප්‍රකාශනයේ නිදහසේ ප්‍රගතිය ද විසින් වර්තමානය වන විට PKK සන්නද්ධ සංවිධානයේ පැවත්ම නොවැදගත් තත්ත්වයකට ගෙන ගොස් ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, අනෙකුත් සමාන චලනයන් මෙන්, එය එහි ස්වාභාවික අවසානයට ළඟා වී ඇති අතර එහි විසුරුවා හැරීම නොවැළැක්විය හැකි ස්ථානයකට පැමිණ ඇත.”
“වෙනම ජාතික රාජ්‍යයක්, ෆෙඩරල්වාදය, පරිපාලන ස්වාධීනත්වය හෝ සංස්කෘතික විසඳුම් සඳහා වන ඉල්ලීම වැනි අන්ත ජාතිකවාදයේ නොවැළැක්විය හැකි ප්‍රතිවිපාකවලට කුර්දි ජාතික ගැටළුවට විසඳුම් ලබා දිය නොහැක. ඒ අනුව කුර්දි ජාතික ප්‍රශ්ණයට විසඳුම වනුයේ කුර්දි ජනතාව හා තුර්කි ජනතාව ඇතුළු අනෙකුත් ජාතින් සමග එක්ව, තුර්කි ජනරජය ප්‍රජාතන්ත්‍රීයකරණය කරණය සඳහා සටන් කිරීම පමණි. විසඳුම් සෙවීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සටන් ක්‍රමය හැර වෙනත් විකල්ප මාර්ගයක් නොමැත. ජාතික ප්‍රශ්ණයට ඇති එකම ස්ථාවර විසඳුම ප්‍රචණ්ඩ ක්‍රියාවන් නොව ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතිය පමණයි ”යයි ඔහුගේ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබිණි.
මෙම නිවේදනයෙන් පසු කුර්දි ආධිපත්‍යය දරන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවේ (SDF) නායකයා බ්‍රහස්පතින්දා කියා සිටියේ තම හමුදා සිරියානු හමුදාවට එක්වීමට විවෘත බවයි. ඔචලාන් ගේ මෙම නිවේදනයෙන් තුර්කිය විසින් තම රට බෙදී යන බවට බිය ඉදිරිපත් කරමින් සිරියාව තුල සිදුකල හමුදා මෙහෙයුම් අකුලා ගැනීමට සිදු වී ඇති අතර පෙබරවාරි 27 වනදා PKK සමග සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම පිළිගැනීමට ද සිදු වී ඇත. ඔචලාන්ගේ මෙම අපුර්ව එයතිහාසික තීරණය විසින් ඔහුගේ සන්නද්ධ ගරිල්ලා ව්‍යාපාරය(PKK හා SDF) හා ජනතාව යුද්ධයෙන් ආරක්ෂා කර ගැනීමට හැකි වී ඇති අතර කුර්දි ජනතාවගේ අරගලය නව මාවතකට යොමු කිරීමටද සමත් වී ඇත.
“නව සිරියාවක් නිර්මාණය වෙමින් පවතී, නව රාජ්‍යයක් ගොඩනැගෙමින් පවතී, ඇත්ත වශයෙන්ම නව සිරියානු හමුදාව තුළ SDF හට ස්ථානයක් තිබිය යුතුය. අවි බිම තබන ලෙස PKK කළ ඉල්ලීම තුර්කියට අදාළ වන අතර එය අපගේ සිරියානු කුර්දි හමුදාවන්ට අදාළ නොවේ. තුර්කියට දැන් රට බෙදීයාමේ බියක් ඇතිවීමට ඉඩක් නැත. එසේම අපට SDF විසුරුවා හැරීමට අවශ්‍ය නැත, ඊට ප්‍රතිවිරුද්ධව, SDF නව සිරියානු හමුදාව ශක්තිමත් කරනු ඇතැයි අපි විශ්වාස කරමු,” යයි සිරියාවේ 30%ක කොටසක් පාලනය කරන ස්වාධීන කුර්දි පරිපාලනයේ සන්නද්ධ අංශය වන SDF හි ප්‍රධානී මැස්ලූම් අබ්ඩි අවසන් වශයෙන් මාධ්‍ය වෙත පවසා සිටියේය.
කෙසේවතත් තුර්කියට, නව සිරියන් ඉස්ලාම් වාදී පාලනයට රෝජාවා සමාජවාදී කුර්දි පාලනය තර්ජනයක් වී ඇත්තේ එහි ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ, කාන්තා සහභාගිත්වය, ජාතින් අතර සමානාත්මතාවය, ආර්ථික ප්‍රජතන්ත්‍රවාදය, හා විශාල අත්දැකීම් ප්‍රමාණයක් ඇති 50000කට අධික හමුදාවක් මෙම ව්‍යුහය සමග සිටගැනීම යන්න කිසිදු සැකයක් නොමැත. මෙම ව්‍යුහය සිරියාවේ රොජාවා සිට ඉස්තාන් බූල්, ඇන්කාරා දක්වා පමණක් නොව පැරිස්, නිව්යෝක් දක්වා වන සමස්ථ ලෝකවාසී ජනතාව වැළඳ ගැනීම තුලින් තුර්කි හා සිරියානු ගතානුගතික ආගමික පාලකයන්ට පමණක් නොව ජාතින් බෙදා, ගැටුම් ඇති කර බලයේ සිටින කලාපයේ හා ලෝකයේ සියළු පාලකයන්ට ද අනාගතයේ විශාල අභියෝගයක් වීම වැළැක්විය නොහැකි බව දේශපාලන විශේෂඥයන් මේ අතර පවසා සිටිති.