ජනවාරි 20 වැනිදා ට්‍රම්ප් බලයට පත් වීමට පෙර කියුබාව ත්‍රස්තවාදයට සහාය දක්වන රටවල් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ජනාධිපති ජෝ බයිඩන් විසින් ගත් අනපේක්ෂිත තීරණය පිළිබඳව ලොව පුරා කතා බහට ලක් වනුයේ ට්‍රම්ප් ගේ පාලනයට එල්ල කල තවත් අතුල් පහරක් ලෙස සලකමිනි. ජනවාරි 14 වන අඟහරුවාදා ධවල මන්දිරය විසින් ප්‍රකාශයට පත් කරන ලද සංදේශයක් මගින් නිල වශයෙන් බයිඩන් ගේ මෙම තීරණය ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ඇමරිකානු තීරණයත් සමග කියුබානු ජනාධිපති විසින් මිගෙල් ඩයස්-කැනල් සිරකරුවන් 553 දෙනෙකු නිදහස් කරන බවට ද නිවේදනය කළේය.
කෙසේ වෙතත් මෙම තීරණය ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අනාගත රජය ලේකම් කොමියුනිස්ට් විරෝධී මෙන්ම, සම්භවයෙන් කියුබානු ජාතිකයෙකු ද වන MARCO RUBIO ගේ දැඩි විවේචනයට පත් වී ඇත්තේ මෙම තීරණය තමන් විසින් අවසන් කරන බවටද තර්ජනය කරමිනි. ඔහු චෝදනා කරන්නේ කියුබාව විසින් හාමස්, හිස්බුල්ලා සංවිධාන වලට ගරිල්ලා සටන් පුහුණුව හා රැකවරණය ලබා දෙන බවය. නමුත් ඔහු ඒ සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට පවා අපෝසත් බව විදේශ මාධ්‍ය මේ අතර පෙන්වා දේ.
1982 සිට බල පැවැත්වුණු මෙම තහනම පසුව 2015 දී ඔබාමා පාලනය විසින් ඉවත් කලද 2021 දී ට්‍රම්ප් බලාධිකාරය විසින් නැවත පනවන ලදී. නමුත් ජෝ බයිඩන් පවසන්නේ කියුබාව තව දුරටත් සතුරු රාජ්‍යයක් ලෙස හැඳින්විය නොහැකි බවයි.
ජනවාරි 20 වන සඳුදා දිවුරුම් දෙන ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු කියුබාව නැවත ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීරණය කරනු ඇතැයි අපේක්ෂා කළද, එක්සත් ජනපදයේ ඉවත්ව යන ජනාධිපති ජෝ බයිඩන් විසින් ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍ය ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීමට ඔහු ගත් තීරණය පිළිබඳව ධවල මන්දිරය පවසන්නේ එය “දෙරට අතර හොඳ හිත “පවත්වා ගැනීම සඳහා ලබා දුන් ඉඟියක් බවයි.
ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද නිලධාරියෙක් පැවසුවේ මෙම තීරණය මගින් “කියුබාවේ රඳවා තිබෙන සැලකිය යුතු දේශපාලන සිරකරුවන් සංඛ්‍යාවක්” කියුබානු රජය විසින් නිදහස් කරනු ඇති ඇමරිකාව අපේක්ෂා කරන බවය. ඊට අමතරව, කියුබාවේ දේපල අත්පත් කර ගැනීම් සඳහා ඇමරිකානු අධිකරණවල පැමිණිලි ගොනු කිරීමේ හැකියාව අත්හිටුවන බවත්, ඇතැම් මූල්‍ය සීමාවන් සඳහා මේ දක්වා පවත්වා ගෙන ආ තහනම්ද ඉවත් කරන බවත් ජෝ බයිඩන් නිවේදනය කළේය.
මෙම ක්‍රියාවලියේදී, හවානා සිරකරුවන් 553 දෙනෙකු ළඟදීම නිදහස් කරන බව කියුබාව නිවේදනය කළේය. “අපගේ අධිකරණ පද්ධතියේ සිරිතක් ලෙස, විවිධ අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් 553 දෙනෙකු නිදහස් කිරීමට අපි ඒකපාර්ශ්වික සහ ස්වෛරී තීරණයක් ගෙන තිබෙනවා,” යයි කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනල් X හි පැවසීය.
කියුබානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, ජනවාරි මස මුලදී, “ජනාධිපති ඩයස්-කැනල් උත්තරීතර පාප් වහන්සේ වෙත සිරකරුවන් සම්බන්ධයෙන් ලිපියක් යවා ඇති” බවයි. ඇමරිකාව හා කතෝලික පල්ලියේ අනුග්‍රහය යටතේ සිදු කරන ලද සාකච්ඡා රාමුව තුළ අදාළ සිරකරුවන් “ක්‍රමයෙන්” නිදහස් කිරීමට කියුබාව තම කැමැත්ත පල කර ඇත.
කෙසේ වෙතත්, ඇමරිකානු-වතිකානු-කියුබානු සම්මුතිය ද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනාගත ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රිකයා වන ෆ්ලොරිඩා රිපබ්ලිකන් සෙනෙට් සභික මාර්කෝ රුබියෝ දැඩිව විවේචනය කරනු ලබයි. ඔහු කුප්‍රකට කොමියුනිස්ට් විරෝධීයෙකු වන අතර ඔහුගේ මුළු දේශපාලන ජීවිතයම කැපකර ඇත්තේ කැස්ත්‍රෝ විරෝධී කියුබානු ඩයස්පෝරාව වෙතය. 2021 දී ට්‍රම්ප් පාලනය විසින් කියුබාව ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළු කරනුයේ කොලොම්බියාවේ ELN ගරිල්ලා නායකයෙකු ඇමරිකාවට ලබා දීමට ප්‍රතික්‍ෂේප කිරීම හා ඇමරිකානු black panther සාමාජිකයන්ට දේශපාලන රැකවරණය ලබා දීම නිසාවෙනි.
විශේෂයෙන්ම 2021 ජනවාරි මාසයේදී ජෝ බයිඩන්ට බලය පැවරීමට දින කිහිපයකට පෙර, උතුරු කොරියාව, ඉරානය සහ සිරියාව ද ඇතුළත් ත්‍රස්තවාදයට සහාය දක්වන රාජ්‍ය ලැයිස්තුවට කියුබාව නැවත වරක් ඇතුළත් කිරීමට තීරණය කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනි. එසේ වුවත් කියුබාව යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, මානව අයිතිවාසිකම් කොමිසම මෙන්ම ඇමරිකානු රාජ්‍ය නායක සංවිධානය(OEA) හා නොබැඳි ජාතීන්ගේ සමුළුවේද සාමාජිකයෙක් වේ.
“එක්සත් ජනපදයෙන් කිලෝමීටර් 150ක් දුරින් සමාජවාදය ගොඩනැගීම තමා අපගේ අවාසනාව වී ඇත්තේ. ඒවගේම අපගේ අභියෝගය, මෙන්ම අපගේ අභිමානය ද එයම පමණක්” යයි කියුබානු ප්‍රංශ තානාපති ඔටෝ වයිලන්ට් ෆ්‍රියාස් කියා සිටියේ ඇමරිකානු තීරණයට ප්‍රතිචාර දක්වමිනි.
එහෙත් මේ අතර කියුබාව ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍ය ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ තීරණය “පිළිගත නොහැකි” බව රිපබ්ලිකන් පක්ෂයේ ටෙක්සාස් සෙනෙට් සභික ටෙඩ් කෲස් වහාම ප්‍රකාශ කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනාගත රජයේ සහ රිපබ්ලිකන් බහුතර කොංග්‍රසයේ කටයුතු “අවුල් කිරීමට ” ජෝ බයිඩන් උත්සාහ කරන බවට ඔහු රජයට චෝදනා කළේය.
මේ සම්බන්ධයෙන් ප්‍රංශයේ කියුබානු තානාපති ඔටෝ වයිලන්ට් ෆ්‍රියාස් කියා සිටින්නේ “ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රටවල් ලැයිස්තුවට කියුබාව කුහක සහ අසාධාරණ ලෙස ඇතුළත් කිරීම” පිළිකුල් සහගත බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් 2021 දී පනවන ලද සම්බාධක 243 ඉවත්ව යන බයිඩන් රජය විසින් අවසන් මොහොත දක්වා පවත්වාගෙන යාමද ඔහු හෙළා දුටුවේය. මෙම නරුම පියවරයන් 243 විසින් සිදුකරන ලද “ආර්ථික, වාණිජ හා මූල්‍ය අවහිර කිරීම්” හේතුවෙන් කියුබාවේ ආර්ථික අර්බුධය තවත් උග්‍ර කර ඇති බව තානාපතිවරයා පෙන්වා දුන්නේ, “කියුබානු ආර්ථිකයට සහ එරට පවුල්වල සාමාන්‍ය ජීවිතයට හා යහපැවැත්මට එමගින් සිදු කර ඇති බලපෑම” ගැන තම කණගාටුව ද පල කරමිනි.
කෙසේ වෙතත් කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස දකුණු ඇමරිකාවේ වාමාංශික ආණ්ඩු විසින්
ද ඇමරිකාවට බල කරමින් සිටි. මෙක්ෂිකෝව, කොලොම්බියාව, බ්‍රසීලය හා හොන්ඩුරාස් මෙම රටවල් අතර ඉදිරියෙන්ම සිටි. ට්‍රම්ප්ගේ සංක්‍රමිකයන් පිටුවහල් කිරීමට එරෙහිව මෙක්ෂිකෝව හා හොන්ඩියුරාස් රාජ්‍යය දැනටමත් තම විරෝධය පල කර ඇත. අනාගත ට්‍රම්ප් පාලනය විසින් ඇමරිකාවේ වෙසෙන වීසා බලපත්‍ර නැති තම රට වැසියන් 250000 පිටුවහල් කළහොත් හොන්ඩියුරාස් රාජ්‍යයේ ජනාධිපතිනි XIOMARA CASTRO පවසන්නේ එයට ප්‍රතිචාරයක් ලෙස දැනටමත් කිසිදු සතයක් තම රටට ලබා නොදී පවත්වාගෙන යනු ලබන සියළු ඇමරිකානු හමුදා කඳවුරු එරටින් පන්නා දැමීමට පියවර ගනු ලබන බවයි.