ජනතාවට නීතියක් හා සදාචාරයක් අවශ්‍ය වූයේ ආර්ථික අසමානත්වය, සමාජීය ප්‍රශ්න ඇවිලී යමින් ඒවා යුද්ධයන් දක්වා වර්ධනය වීම හේතුවෙන් සිදු වූ මරණ, දේපල හානිය ඇතුළු විපත් අවම කිරීම සඳහා වේ. සමාජීය සාමය උදා කර ගැනීම සඳහා සර්ව බලධාරී මිනිසෙකු වෙත බලය ලබා දීම හෝ ඔහුගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් හා ජනතාව මත ගොඩ නැගුනු සමාජ සම්මුතියක් අවශ්‍ය බව බ්‍රිතාන්‍ය චින්තකයෙකු වූ හොබ්ස් පැවසූවේය. මෙම සංකල්පය සංවර්ධනය කරමින් ඒ සඳහා සමාජයේ පිළිගත් චන්දයෙන් පත් වූ ජනතා නියෝජිත කණ්ඩායමකට එම බලය පැවරිය යුතු බව ප්‍රංශ-ස්විස් දාර්ශනිකයෙකු වූ ජීන් ජැක් රූසෝ ඉල්ලා සිටියේය. බ්‍රිතාන්‍ය, ඇමරිකානු හා ප්‍රංශ විප්ලව මගින් රාජාණ්ඩු මත ගොඩ නැගී තිබු වැඩවසම් යුග රැඩිකල් ලෙස හෝ අර්ධ ලෙස අවසන් කර ධනපති පංතියට බලය මාරු වුවද, 1793 දී මුළු දුන් ප්‍රංශ විප්ලවය රජුද මරා දමා ඍජුවම ජනතාවට ලබා ගත් පුරවැසි බලයක් දක්වා වර්ධනය කර ගනු ලැබුවේය. එය නැපෝලියන් විසින් පසුව අහෝසි කරනු ලැබුවද 1871 පැරිස් කොමියුනය මගින් යලි පුරවැසි බලය(citizen power) ගොඩ නගනු ලැබුවේය. ලොව සිදු වූ සෑම සමාජ පෙරළියකින් පසුව මෙම එක්තරා පංතියකට පමණක් හිමි කර ගත් බලය(national power) හා එයට එරෙහිව ජනතාවට බලය(citizen power) ලබා ගැනීමේ අරගලය නොනැවතී අදටත් ඉදිරියට ඇදේ.
යුරෝපයේ වැඩවසම් ක්‍රමය අවසන් කර බිහි වූ ධනේශ්වර ජාතික රාජ්‍යයට එරෙහිව නිර්ධන පංතියට බලය ලබා ගැනීමේදී මෙම පුරවැසියන්ගේ බලය යන සංකල්පය නිරතුරුවම කරලියට පැමිණේ. විශේෂයෙන් ප්‍රංශ රාජාණ්ඩු ක්‍රමය අවසන් කර බලයට පැමිණි ධනපති පංතිය ඉන් පසුව මෙම පුරවැසියන්ට බලය ලබාදීම යන ප්‍රශ්ණය මත ජකොබන්වාදීන්(centralist) හා ජිරෝන්දන්වාදීන්(federalist) ලෙස බෙදී ගියේ දරුණු සිවිල් යුද්ධයකටද රට අවතීර්ණ කරමිනි. මෙම විප්ලවීය අභාෂය ලැබූ රුසියානු, චීන හා කියුබානු විප්ලව වල දී පුරවැසි බලය යලි තහවුරු කරනු ලැබුවද ලෙනින්ගේ මරණයෙන් පසුව බිහි වූ සෝවියට් නිලධාරිවාදී යාන්ත්‍රණයේ බලපෑම හේතුවෙන් ජනතා බලය අහෝසි වී වරප්‍රසාද ලත් කල්ලියක් පාලනය නතු කර ගැනීම හේතුවෙන් 1990 දී සමස්ථ සමාජවාදී කඳවුරම බිඳ වැටිණි.
බර්ලින් තාප්පය බිඳ වැටී අදටත් ඉතිරිව ඇති සමාජවාදී රටවල් තුල පවා තවමත් මෙම නිලධාරීවාදය අවසන් වී නොමැත. පැරණි සමාජවාදී කඳවුර බිඳ වැටීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස ජනතාවගෙන් ඈත් වූ නිලධාරිවාදී රාජ්‍ය ව්‍යුහයක් බිහිවීම ලෙස සලකන නව මාක්ස්වාදීන් අනාගත සමාජවාදී රාජ්‍යය තුල පුරවැසි බලය යලි තහවුරු කල යුතු බව අවධාරණය කර සිටි. ජාතික ජන බලවේගයේ මැයි දිනයේදී ලාල් කාන්ත සහෝදරයා ගෙන් ශ්‍රී ලංකික සමාජයට විවර වූ මෙම පුරවැසි බලය පිලිබඳ සංවාදය රටේ අනාගතය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් ප්‍රවේශයක් නිර්මාණය කරනුයේ මේ නිසාය.
නීතිය යනු “පුරවැසියන්ගේ සමස්ථ ප්‍රකාශණයක්” බව ජීන් ජැක් රූසෝ තවදුරටත් පැවසුවේය. එසේ නම් නීතිය සම්මත කිරීමට පුරවැසියන් තෝරා පත් කර පාර්ලිමේන්තුවට පත් කර යවනු ලබන ජනතා නියෝජිතයා යලි කැඳවිය යුතු බව ටද ඔහු අවධාරණය කරනු ලැබුවේය. යුරෝපයේ පුනුරුධ සමයේ රූසෝ විසින් ඉදිරිපත් කල සුප්‍රකට “සමාජ සම්මුතිය” නම් නිබන්ධනයෙන් අභාෂය ලැබූ ප්‍රංශ හා ඇමරිකානු විප්ලවවාදීන් ජනතාව මුහුණ දෙන ගැටළු සඳහා සම්මත කර ගන්නා නීතින් ක්‍රියාත්මක කිරීම සඳහා විනිසුරුවන් පත් කර ගැනීමේදී ඔවුන් ජනතා චන්දයෙන් පත් කරවා ගැනීමට තීරණය කරන ලදී. එමගින් ඔවුන් අපේක්‍ෂා කරනු ලැබුවේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී විධායක හා ව්‍යවස්ථාදායක බලයන්ගේ බලපෑමෙන් ඉවත් කර අධිකරණය ස්වාධීන ආයතනයක් බවට පත් කර ලීමයි.
කෙසේ වෙතත්, ප්‍රංශ විප්ලවය සිදු වූ 1789 ජූලි 14 වැනිදාට පසුව රජාගේ අත්තනෝමතික බලය ජාතියට(national power) ලබාදුන් අතර මේ දක්වා රටේ උතුරේ හා දකුණේ පැවති විවිධ සම්ප්‍රදායන් හා පැරණි නීති 60ක් ඒකාබද්ධ කර තනි නීතියක් දක්වා වර්ධනය කරනු ලැබූ අතර රූසෝ සම්පාදනය කල “නීතිය යනු සමස්ථ ජනතාවගේ පොදු ප්‍රකාශණයක්” යන්න 1791 සැප්තැම්බර් 3 වනදා ඉදිරිපත් කල මානව අයිතිවාසිකම් හා පුරවැසි ප්‍රකාශණය මගින් පිළිගනු ලැබුවේය. එය අදටත් ප්‍රංශයේ ව්‍යවස්ථාව මගින්ම තහවුරු කර පිළිගෙන ඇති විප්ලවීය ලියවිල්ලකි. ප්‍රංශයේ කිසිදු නව නීතියක් මෙම විප්ලවීය ප්‍රකාශණය තුල අවධාරණය කල නීතිය ඉදිරියේ සමානාත්මතාවය, තීන්දු ලැබෙන තුරු නිර්දෝෂිභාවය යන කරුණු අමතක කර සම්පාදනය කල නොහැක.
කෙසේවෙතත් 1958 ජෙනරල් ඩිගොල් විසින් සම්පාදනය කරන ලද ව්‍යවස්ථාව මගින් බලයට පත්වන ආණ්ඩුවට සම්මත කර ගන්නා නීති පාර්ලිමේන්තුවෙන් නිෂ්ප්‍රබා වුවහොත් රෙගුලාසි, රීතීන්, ආඥාවන් මගින් ක්‍රියාත්මක කිරීමට විධායක ජනාධිපතිවරයාට බලය ලබා දෙන ලදී. මෙය පැහැදිලිවම රූසෝ ඉදිරිපත් කල නීතිය යනු ජනතා ප්‍රකාශණයක් යන්න තක්කඩි ලෙස උල්ලංඝනය කිරීමක් යන්නත් අප අමතක කල යුතු නැත. මෙම විකෘතින් ඉතා සහාසික ලෙස ප්‍රංශ ව්‍යවස්ථාවෙන් සොරකම් කර 1977 ඒකාධිපති ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට ජයවර්ධන පාලනය ද පසු කාලීනව සමත් විනි. කිසිදු ලේ සෙලවීමකින් තොරව ඉන්දියානු නිදහස් අරගලයේ බලපෑමෙන් බලය ලබා ගත් ලංකික පසුගාමී ධනේශ්වරය අවම වශයෙන් හෝ අධිරාජ්‍යවාදයෙන් මිදුණු ජාතික රාජ්‍යයක්(national power) බිහි කර ගැනීමට අපෝසත් වීම තුල ජනතාව විසින් ඉදිරිපත් කරන පුර වැසි බලයට එරෙහිව අවමන් සහගතව කාරණා ඉදිරිපත් කිරීම තේරුම් ගත හැක්කේ මෙම සංදර්භය තුලය.
කෙසේවෙතත් 1790 අගෝස්තු 16-24 නීතිය හා 1791 සැප්තැම්බර් 3 ඉදිරිපත් කල ව්‍යවස්ථාව මගින් ප්‍රංශ අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන් සහ සාම විනිසුරුවරුන්ගේ සිට දිස්ත්‍රික් උසාවි, අපරාධ අධිකරණ සහ අභියාචනාධිකරණ වෘත්තීය මහේස්ත්‍රාත්වරුන් දක්වා තේරී පත් වූ සියලුම විනිසුරුවන් පත් කර ගනු ලැබුවේ ජනතා චන්දයෙනි. විශේෂයෙන් ප්‍රංශ රාජාණ්ඩු පාලක ලුවී 16 ගිලනටයට යැවු පසු මේ දක්වා ප්‍රංශ ජාතියට හිමි වූ තිබු බලය ප්‍රාදේශීය සභා 36000ක් තුල ජීවත්වන ජනතාව දක්වා විමධ්‍යගත කර පුරවැසි බලයක් දක්වා වර්ධනය කිරීමට රෝබෙස්පියර් විසින් 1793 ජුනි 24වනදා ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාව(constitution de l’An I ) මගින් යෝජනා කරන ලදී. මේ වන විට සමස්ථ යුරෝපයේම රාජාණ්ඩු ප්‍රංශයට එරෙහිව යුධ ප්‍රකාශ කිරීම නිසා මෙම ව්‍යවස්ථාව කිසිදු ආකාරයකින් ප්‍රංශයේ ක්‍රියාත්මක නොවුනද එමගින් ජනතා නියෝජිතයින් නැවත කැඳවීමේ බලය ජනතාවට ලබා දුන්නා පමණක් නොව පුද්ගලික දේපල ක්‍රමය අහෝසි කිරීමට හා සමාජ යුක්තිය තහවුරු කිරීමට පවා යෝජනා කර තිබිණි. එසේවුවත් එම ව්‍යවස්ථාව මගින් තහවුරු කල ප්‍රාදේශීය සභා 36000 හා ඒ හා බැඳුනු සමාජ සුබසාධන, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අදටත් අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වේ. ඒ තුල චන්දයෙන් පත්වන නගරාධිපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයින් ප්‍රාදේශීය අධිකරණ මගින් ජනතා ගැටළු විසඳීම සඳහා ඍජුවම ඇතැම් අවස්ථා වලදී සමාදාන විනිසුරුවරයෙකු ලෙස ද තවදුරටත් මැදිහත් වේ.
කෙසේවෙතත් 1795 දී ප්‍රංශයේ බලය දක්ෂිණාංශික ලිබරල් ෆෙඩරල් වාදීන් බලය අත්පත් කර ගැනීමත් සමග ප්‍රංශ විප්ලවයේ නියමුවන් වූ රෝබෙස්පියර් හා ඩන්ටන් යන දෙදනාම ගිලටනයට යවා මරා දමන ලදි. ඒ සමගම ජනතා නියෝජිතයින් හා විනිසුරුවන් චන්දයෙන් පත්වීම හා නැවත කැඳවීම 1804 දී කුමන්ත්‍රණය කින් බලයට පැමිණි නැපෝලියන් බොනපාට් විසින් අවසන් කරන ලදී. ඉන් පසුව ජනතා නියෝජිතයින්, විනිසුරුවන් හා රජයේ නියෝජිතයින් ජනතා චන්දයෙන් පත්කිරීම හා නැවත කැඳවීම ප්‍රංශයේ කරලියට පැමිණෙනුයේ දින 72ක් පැවති 1871 පැරිස් කොමියුන සමයේ දීය. පැරිස් කොමියුනය බිඳ දැමු පසුවද කිසිදු ආකාරයකින් ප්‍රධාන අධිකරණ පද්ධති වලට විනිසුරුවන් ජනතා චන්දයෙන් පත් කිරීමේ අයිතිය නැවත ජනතාවට ලබා දීමක් සිදු නොවූවද අදටත් කම්කරු උසාවියට හා වෙළඳ උසාවියට විනිසුරුවන් පත් කිරීම සිදු කරනුයේ කම්කරුවන් හා ව්‍යවසායකයින් විසිනි. එහෙත් ප්‍රංශයේ වර්තමාන ව්‍යවස්ථාවේ 27 වගන්තිය මගින් ජනතා නියෝජිතයින් නැවත කැඳවීමේ බලය සපුරා තහනම් කර ඇත(Tout mondat imperatif est nul).
ප්‍රංශ විප්ලවය මගින් රාජාණ්ඩු පාලනය පෙරලා දමා ප්‍රංශ ජාතියට ලබා ගත් බලය ජනතාවට ලබා දීමට අපෝසත් වුවද එය ජනතාවට ලබා ගැනීම සඳහා ප්‍රංශ වාමාංශික ව්‍යාපාරය අද දක්වාත් ප්‍රංශ ධනපති පංතිය සමග දීර්ඝ කාලීන අරගලයක නිරත වී සිටි. මෙම අරගලය තුල පෙත්සම් අත්සන් කිරීම, ජනමත විචාරන වැනි ඍජු ප්‍රජාතන්ත්‍ර වාදී අයිතිවාසිකම් දිනා ගැනීමට සමත් වුවද 1789 ප්‍රංශ විප්ලවයෙන් තහවුරු කල ජනතා නියෝජිතයින්, රජයේ සේවකයින්, විනිසුරුවන් යලි කැඳවීමේ අයිතිය යලි දිනා ගැනීමට ඔවුන් තවමත් සමත් වී නැත. ප්‍රංශයේ එසේ වුවත් ජනතා නියෝජිතයින් නැවත කැඳවීමේ බලය තවමත් ජර්මනියේ හා ස්විස්ටර්ලන්තයේ ක්‍රියාත්මක වේ.
යුරෝපයේ විනිසුරුවන් චන්දයෙන් තෝරා ගැනීම අභාවයට ගියත් අදටත් ලිබරල් වාදයේ මුදුන් මල්කඩ වන ඇමරිකාවේ අධිකරණ පද්දතිය සඳහා ප්‍රාන්ත රාජ්‍යයන් 50න් 39කයම විනිසුරුවන් පත්කර ගනු ලබනුයේ ඇමරිකානු ජනතාව විසින්ම වේ. ඒ සඳහා විවිධ ක්‍රමවේද ඇමරිකානු ප්‍රාන්ත සභා විසින් අනුගමනය කරනු ලබයි. 1812 දී ඇමරිකාවේ ජෝර්ජියාව විසින්ද, 1832 දී මිසිසිපි ප්‍රාන්ත සභාව විසින්ද අධිකරණ සඳහා විනිසුරුවන් පත් කිරීම ජනතාව මගින් සිදු කිරීම ආරම්හ කරන ලදී. විශේෂයෙන් 1828-1850 වින්සන් පාලන කාලයේදී මෙම ඍජු ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් ප්‍රවර්ධනය වීම මගින් විනිසුරුවන් චන්දයෙන් තෝරාගැනීමේ අයිතිය තවදුරටත් ජනතාවට ලබා දෙන ලදී.
ඇමරිකානු බෙදුම්වාදී යුධ සමයේදි හා ඉන් පසුව 1845 සිට 1959 දක්වා කාලය තුල සියළුම ප්‍රාන්ත වල මෙම අයිතිය ජනතාවට ලබා දෙන ලදී. මෙම අයිතිය ලබා දීම මගින් ජනතාවට වග කියන අධිකරණ පද්දතියක් ඇමරිකාවේ බිහිවිණි. එහෙත් එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්, අභියාචනාධිකරණ විනිසුරුවන් සහ දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවන් පත් කරනු ලබනුයේ එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා විසින් සෙනෙට් සභාව විසින් තහවුරු කිරීමෙන් පසුවය. පත්වන විනිසුරුවන් ජීවිතාන්තය දක්වා සේවය කරනු ලබන අතර, ඇමරිකානු ෆෙඩරල් ව්‍යවස්ථාවේ ලබා දී ඇති බලතල අනුව, ඔවුන්ගේ ධූරයන් අවලංගු කිරීමට ඇති එකම මෙවලම වනුයේ දෝෂාභියෝග පමණි.
ප්‍රංශ ලේඛකයෙකු වන ඇලෙක්ෂි ටොක්විල් පවසන ආකාරයට ලෝකයේ හොඳම අධිකරණ පද්දතියක් ඇති එකම රාජ්‍යය ඇමරිකාව වේ. අදටත් එරට ජනාධිපතිවරයා රූපවාහිනිය ඉදිරියට කැඳවා නඩු අසන ලෝකයේ එකම රට ඇමරිකාව බව කාටත් රහසක් නොවේ. ඇමරිකානු මධ්‍යම රජයේ ක්‍රියා කාරකම් අධීක්ෂණය කරනු ලබන ඇමරිකානු ශ්‍රේෂ්ටාධිකරනය ඇතුළු අධිකරණ පද්දතිය සඳහා රටේ සිටින දක්ෂතම නීතිවේදීන් හාවර්ඩ් හා යාල් විශ්ව විද්‍යාලයෙන් තෝරා ගනු ලබයි. එසේම ප්‍රාන්ත සභා වලට අයත් ප්‍රාදේශීය අධිකරණ මගින් ලබා දෙන නඩු තීන්දු යලි සලකා බැලීමට දිස්ත්‍රික්ක අධිකරණ වෙතත් ඉන්පසුව මධ්‍යම රජයේ ශ්‍රේෂ්ටාධිකරණය හා අභියාචනාධිකරණය වෙත ගොස් ඉල්ලා සිටීමට ඇමරිකාවේ වෙසෙන සියළුම පුරවැසියන්ට අයිතිය හිමි වේ.
කෙසේවෙතත් චන්දයෙන් විනිසුරුවන් තෝරා ගැනීම අතිශයින් ප්‍රජාතන්ත්‍රවාදී වුවත් මේ සඳහා මැතිවරණ වලට ඉදිරිපත් වන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයයින්, බුද්ධිමතුන් හෝ වුර්තිකයින් හෝ වෙනත් ඕනෑම අයෙකු තම මැතිවරණ ප්‍රවාහය සඳහා මුදල් ලබා ගැනීමේදී පුද්ගලික සමාගම් වෙත යාමට සිදුවීම නිසා නඩු තීන්දු දීමේදී අල්ලස් ගැනීම්, දේශපාලනීකරණය වීම, තීන්දු ලබා දීමේදී පක්‍ෂග්‍රාහී වීම් වලට පුරවැසියන්ට මුහුණ දීමට සිදුවන බව 2016 ඇමරිකානු අධිකරණ අමාත්‍යංශය නිකුත් කල වාර්තාවක සඳහන් වේ. මෙම තත්වය මග හැරීම සඳහා පත්වුණු විනිසුරුවන්ගේ ධූර කාලය අවසන් වූ පසු ඔවුන් යලි පත්කර ගැනීම පිලිබඳ යලි සලකා බැලීම සඳහා(retention elections) පුරවැසියන්ට ඉඩ ලබාදීමට ඇතැම් ප්‍රාන්ත රජයන් ක්‍රියා කරනු ලබයි. එහිදී අදාළ විනිසුරුවරයා ලියා පංදිචි චන්ද ප්‍රමාණයෙන් 50%ක් ලබා ගැනීමට අපෝසත් වුවහොත් ඔහුගේ ධූරය අවසන් වේ. එසේම චන්දයට ඉදිරිපත් වන පුද්ගලයින් අධිකරණ අමාත්‍යංශයට අයත් ජනතා කොමිසම් මගින් තෝරා ගැනීමද ඇතැම් ප්‍රාන්ත සිදු කරනු ලබනුයේ නීති කේෂ්ත්‍රය සම්බන්ධව දක්ෂතා ඇති අයවලුන් තෝරා ගැනීම සඳහා වේ.
ප්‍රංශ විප්ලව සමයේ ආරම්හ වූ චන්දයෙන් ජනතා නියෝජිතයින් හා විනිසුරුවන් තෝරාගැනීම නැපෝලියන් සමයේ අවසන් කලද 1871 පැරිස් කොමියුනය පැවති දින 72ක කාලය තුල තමන් පත්කරන විනිසුරුවරයා යලි ඕනෑම අවස්ථාවක යලි කැඳවීමට පුරවැසියන්ට හැකියාව ලැබිණි. ඒ අනුව ඇමරිකානු අත්දැකීම් පෙන්වා දෙනු ලබනුයේ චන්දයෙන් විනිසුරුවන් පත්කිරීම වඩාත් සාර්ථක විය හැක්කේ ඔවුන් ඕනෑම අවස්ථාවක යලි කැඳවීමේ බලයද පුරවැසියන්ට ලබා දීමෙන් පමණි. ඕනෑම අවස්ථාවක යලි නැවත කැඳවීමේ බලය ලබා දීමෙන් පත්වන ජනතා නියෝජිතයින් දූෂණයට, දේශපාලනීකරණය වීමට හෝ අල්ලසට ලක් වීමට ඇති ඉඩකඩ අවම වී අධිකරණ බලයට ඍජුවම මෙන්ම වක්‍රව සම්බන්ධ වීමට පුරවැසියාට එමගින් අයිතිය හිමි වේ. ඒ අනුව ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන මෙම සංකල්පය වඩාත් සමතුලිත හා කාර්යක්‍ෂම බවක් පෙන්නුම් කරයි.
ජාතික ජන බලවේගය මෙම අයිතිවාසිකම් දෙකම ජනතාවට ලබා දෙන බව ලාල් කාන්ත සහෝදරයා පවසා සිටීම තුල අනාගත එම පක්‍ෂයේ රාජ්‍ය පාලනයකදී අධිකරණ බලය ජනතාවට ලබාදීම තව දුරටත් සම්පුර්ණ වේ. එනම් අධිකරණය පිළිබඳව ජනතාව අතර මේ වන විට මතු වී ඇති සැකය හා නිලධාරිවාදය අවසාන වී විශ්වාසය තහවුරු වී එය කුඩා ග්‍රාමීය ජනතාවගේ බලයක් දක්වා ප්‍රවර්ධනය වීම ද වැළැක්විය නොහැක. එමගින් දැනට ගොඩ ගැසී තිබෙන නඩු ඉතා කෙටි කාලයකදී අවසන් වී නාගරික හා ග්‍රාමීය වරප්‍රසාදිත කල්ලි වල ග්‍රහණයට ලක් වී ඇති ජනතාව එයින් නිදහස් වීමටද ඉඩකඩ විවෘත වේ.
ශ්‍රී ලංකාව තුල බලයට පැමිණෙන අනාගත ජාතික ජන බලවේග රජයකින් මෙම ඍජු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ග්‍රාම සේවක සභා 14500ක වෙසෙන ලංකික ජනතාවට ලබා දීමට සමත් වුවහොත් ලෝකයේ එවැනි අයිතියක් ලබාදෙන ප්‍රථම රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත්වීම ද වැළැක්විය නොහැක. ශ්‍රී ලංකාවේ ධනේෂ්වර පාලනය මහා බ්‍රිතාන්‍ය විසින් උත්තර් ආරෝපණය කරලීම නිසා රටේ පාලන බලය හොබවන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි නායකයින්ට ජනතාවට අධිකරණ බලය ලබා දීම මැජික් එකක් වුවද ඔවුන් විසින්ම දොහොත් මුදුන් තබා වන්දනාමාන කරනු ලබන ඇමරිකාව දෙස බලා එය අවබෝධ කර ගැනීමට උත්සහ කළහොත් එය රටේ අනාගතයට වඩාත් හිතකර වේ.
එසේම ලාල් කාන්ත සහෝදරයා ඉදීරිපත් කල ජනතාවට බලය ලබා දෙන මෙම ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම වේදය සමාජයේ කතා බහට ලක් වීම මගින් එහි ඇති ධනාත්මක මෙන්ම බාධාද හඳුනා ගැනීමට ලාංකීය සමාජය මෙම සංවාදය තුලින් සමත් වනු ඇත. ඒ අනුව අනාගත ලංකාව අශිෂ්ටත්වයේ හා ශිෂ්ටත්වයේ ගැටුමක් මෙන්ම පුරවැසි ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ හා 76 වසරක් පුරා පවතින අත්තනෝමතික පසුගාමිත්වයේ නොනවතින අරගලයක් දක්වාද වර්ධනය වීම ඒ අනුව වැළැක්විය නොහැක.