ජනතා විමුක්ති පෙරමුණ බිහිවී මැයි 14 වැනිදාට වසර 57ක් පිරේ. ගතවූ මෙම කාලය තුල ශ්‍රී ලංකාව පාලනය නොකළ එකම පක්ෂය වනුයේද ජනතා විමුක්ති පෙරමුණ වේ. ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම ඉතිහාසයේ අහම්බයක් ලෙස සිදුවූ සංසිද්ධියක් නොව එය අප විග්‍රහ කර ගත යුත්තේ එහි ඓතිහාසික භාවිතාව තුල පරිණාමය වූ පක්ෂයක් ලෙසය. මෙම පරිණාමය තුල තම මාක්ස්-ලෙනින්වාදී න්‍යායික පදනම ඇතිවන හා ඇතිවූ විෂය මුලික යථාර්තයන් තුල වෙනස් කර ගනිමින් ඉදිරියට ගමන්කිරීමට එහි නිර්මාර්තෘ රෝහණ විජේවීරයන්ට හා පක්ෂයට සිදු වී ඇත්තේ පක්ෂයේ සතුරන්ගේ මෙන්ම මිතුරන්ගේත් දැඩි විවේචන වලට මුහුණ දෙමිනි.
ජනතා විමුක්ති පෙරමුණ උපත ලබන්නේ ශ්‍රී ලංකාවේ ෂන්මුගදාසන්ගේ චීන මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂය තුලය. එය සෝවියට් හා චීන ප්‍රතිවිරුද්ධතා මත විශේෂයෙන් විජේවීරයන් සෝවියට් දේශයේ අධ්‍යාපනය ලබමින් සිටියදී සෝවියට් බලධාරීන් සමග සිදුවූ න්‍යායියක අරගලයක ප්‍රථිපලයක් වේ. එම යුගයේ මාවෝවාදය ආසියාවේ කම්කරු පංතියට දැඩි බලපෑමක් සිදුකල දර්ශනයක් විය. මෙම චීන මාවෝවාදයේ හා රුසියානු විප්ලවීය මොඩලය පමණක් නොව කියුබානු මොඩලය පවා ප්‍රතික්‍ෂේප කිරීමට විජේවීරයන් දෙවරක් සිතුවේ නැත. මෙම දැඩි ස්ථාවරයන් සමහරුන් දුටුවේ විජේවීරගේ ඒකාධිපතිවාදයක් ලෙසිනි. එහෙත් මෙම විරෝධතාකරුවන් තම දේශපාලනය පසුකාලීනව අවසන් කරනු ලැබුවේ ධනපති කඳුවුරු තුලට ගාල් වෙමිනි.
කියුබන් ගරිල්ලා මොඩලය ප්‍රතික්‍ෂේප කිරීම සඳහා විජේවීරයන් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ එවැනි දීර්ඝ කාලීන ගරිල්ලා අරගලයකට අවශ්‍ය සියරා මස්ත්‍රා වැනි භුගෝලාත්මක සාධක නොමැති බවයි. එවැනි උත්සාහයක් ඛේදවාචකයකින් අවසන් විය හැකි බවට විජේවීරයන් ඉදිරිපත්කල තර්කය 2009 මැයි 18 වැනිදා උතුරේ කැරලිකරුවන් අත්විඳුණු ලැබුහ. 60 දශකයේදී විජේවීරගේ මෙම මිලිටරි දැක්ම පසුකාලීනව ප්‍රයෝගිකව සනාථ වූ එක් අවස්ථාවක් පමණක් විය. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ලාංකීය ජනතාවගේ විප්ලවීය විඥානය ඉතාමත් කෙටිකාලයකට සීමාවූවක් පමණක් බවයි.
ඔහු ලාංකීය වමේ ව්‍යාපාරය තුල ඇති කුහක මානසිකත්වය පෙන්වා දෙනු වස් 1949 මහා මැතිවරණයේදී කොමියුනිස්ට් පක්‍ෂය ලංකා සමසමාජ පක්‍ෂය පරාජය කිරීමට උදව්කිරිම නිතර පෙන්වා දුන්නේය. ඒ වෙනුවට ඔහු රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් JR ගේ ලාම්පු කලගෙඩි සෙල්ලමට එරෙහිව 71 තම සගයන් 20000ක් මරා දැමීමට අණ දුන් එවකට රාජ්‍ය ආරක්ෂක ඇමති ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක සමග අත්වැල් බැඳ ගැනීමට කිසි සේත් පැකිලුණේ නැත.
1978 දී චීන-වියට්නාම දේශසීමා ගැටුමේදී 71දී තමන් මර්දනය සඳහා මිග් යානා දුන් වියට්නාමය ආරක්ෂා කල සෝවියට් දේශය වෙනුවෙන් චීනයට එරෙහිව කොන්දේසි විරහිතව සිට ගත්තේය. 71 නැගිටීමෙන් පසුව ස්වයං විවේචනයක් ඉදිරිපත් කරමින් මාවෝවාදයෙන් ඉවත් වී ස්ටාලින්වාදය හා ට්‍රොට්ස්කිවාදය ඇතුළු සියළු නිර්මාක්ස්වාදී දුෂ්ටිවාදයන් ප්‍රතික්‍ෂේප කර මාක්ස්-ලෙනින්වාදය පමණක් තම න්‍යායික පදනම ලෙස තෝරා ගනු ලැබීය. එම නිසාම විජේවීරයන් ට්‍රොට්ස්කිවාදීන්ගේ, මාවෝවාදීන්ගේ, ස්ටාලින්වාදීන්ගේ පරම සතුරෙකු විය.
රටේ ජාතික ප්‍රශ්ණයේදී මහා සිංහල හා බෙදුම්වාදී දෙමල ජාතිවාදය තෝරාගත් තම අතීත සගයන්ගේ අවස්ථාවාදය ප්‍රතික්‍ෂේප කරමින් සිංහල, දෙමල හා මුස්ලිම් සමගිය වෙනුවෙන් ඍජුව පෙනීසිටි අතර 83 පක්‍ෂ තහනමත් සමග ඒ වෙනුවෙන් තම ජිවිතයෙන් වන්දි ගෙවීමට විජේවීරයන්ට සිදුවිණි. විශාල ජන සංහාරයකින් අවසාන වූ ජාතිවාදී යුද්ධයෙන් පසුව නව පරම්පරාව සියළු ජාතිවාදයන්, ආගම්වාදයන්, කුලවාදයන් පරදවා ලාංකීය ජාතියක් වෙනුවෙන් පෙළ ගැසෙමින් සිටිනුයේ විජේවීරගේ මෙම සිහිනය සැබෑ කරමිනි.
ආර්ථික කේෂ්ත්‍රය තුල 21වන ශත වර්ෂයේ දී ඉන්දියාව, චීනය හා රුසියාව පැරණි යුරෝපය හා ඇමරිකාව පරදවා ඉදිරියට එන බව ඔහු කියා සිටියේය. (“21වන සියවසේ දී සමාජ-ආර්ථික-දේශපාලන-යුධමය හා විද්‍යාත්මක බලපෑම අතින් 20 වැනි සියවසේ යටත් විජිත වශයෙන් පැවැති ඉන්දියාව, චීනය හා රුසියාව ඇමරිකාව හා සමානව ලෝක ප්‍රධාන රාජ්‍ය ගණයට ඇතුළු වන බව පැහැදිලිය” දෙමල ඊලාම් අරගලයට විසඳුම, පිටුව 170).
රාජ්‍ය වෙළඳාමේදී සමාජ ක්‍රම උඩ නොව යුරෝපය හා ඇමරිකාව සමගත් ආර්ථික හා වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කර ගත යුතු බවට ඔහු තර්ක කරනු ලැබීය. සිංගප්පූරුවේ Lee Kuan Yew මග යමින් එය අනුගමනය කල චීනයේ Deng Xiaoping චීනය වර්තමාන ලෝක වෙළඳපලේ අත්පත් කරගෙන තිබෙන ආර්ථික බලය කියාපානුයේ විජේවීරයන් කෙතරම් විචක්ෂණ ලෙස ලාංකීය ආර්ථිකය විග්‍රහ කර ගත්තාද යන්නයි. ධනවාදී හෝ සමාජවාදී ක්‍රමවේදයන් ලෙස පැමිණි ලාංකීය පාලකයින් මේ පොඩි මිනිසාට ඇහුම්කන් දුන්නා නම් ලංකාවට මෙවැනි ව්‍යසනයකට මුහුණ දීමට සිදුවනුයේ නැත.
විජේවීර ජාතිවාදියෙකු නොවීය. බ්‍රිතාන්‍ය යටත්විජිතවාදින් තම පාලන පහසුව තකා ධනේශ්වර ප්‍රතිසංස්කරණ ඇතිකර ශ්‍රී ලංකාව මධ්‍යගත රාජ්‍යයක් බවට පත්කිරීම ප්‍රගතිශීලි පියවරක් බව ඔහු නොබියව පවසා සිටියේය. පක්ෂය තුල ඔහු අසම සම දෙවියෙකු නොවීය. දේශපාලන මණ්ඩලය තුල එක් චන්දයක් හිමි තවත් සාමාන්‍ය සාමාජිකයෙක් පමණක් විය. පක්‍ෂය තුල ඔහු සුළුතරය බවට පත්වූ අවස්ථාවන් පක්‍ෂයේ අතීත සගයින් මෙන්ම සතුරන්ද බොහෝ අවස්ථාවල හෙලිකර ඇත. ඔහු විසින් බිහිකළ පක්‍ෂය නැවතත් රටේ තීරණාත්මක පෙරමුණක කඳුවුරු බැඳ සිටිනු දක්නට ලැබේ. පක්ෂයේ ජයග්‍රහණය කාලය පිලිබඳ ප්‍රශ්ණයක් ලෙස තවදුරටත් ලාංකීය සමාජය තුල ඉතිරිව ඇත.