මුස්ලිම් ජාතිකයන් හට වෙනස් කොට සැලකීමේ නීතියක් ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ සම්මත වී වසර හතරකට පසුව එරට ක්‍රියාත්මක කිරීමට විරෝධය පා විශාල වශයෙන් මේ මොහොතේ උද්ඝෝෂණ පැවත්වෙන බව වාර්තා වේ. 2019 දී මෙම නීතිය(NRC) පාර්ලිමේන්තුවේ සම්මත වූ අවස්ථාවේ ඇති වූ විරෝධතා හේතුවෙන් මෝඩි රජය විසින් අකුලා ගත්තද මැතිවරණය ලංවිමත් සමගම මාර්තු 11 වැනිදා එම නීතිය යලි ක්‍රියාත්මක වන බව පවසා රජය නිවේදනයක් නිකුත් කර ඇත. මෙම නීතිය මගින් ඉන්දියාවේ පුරවැසිභාවය පිළිබඳව ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අයිතිය ජනගහනයෙන් එක් කොටසකට වෙනස් කොට සැලකීමක් ලෙස සලකනු ලබන බව අවධාරණය කරමින් රට පුරා මහා පරිමාණ පෙලපාලි හා උද්ඝෝෂණ පැතිරෙමින් පවතී.
අගමැති නරේන්ද්‍ර මෝදි තෙවැනි වරටත් බලයට පත්වීමට සති කිහිපයකට පෙර නිකුත් කරන ලද මෙම නිවේදනය මගින්
පකිස්ථානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානයෙන් පැමිණෙන විදේශිකයන්ට ඉන්දියානු ජාතිකත්වයට ප්‍රවේශ වීමට පහසුකම් සැලසුවත් එහිදී විදේශයෙන් පැමිණි මුස්ලිම්වරුන් එම ක්‍රියාවලියෙන් බැහැර කරනු ලැබ ඇත. මෙම නීතිය දැනටමත් 2019 දී ඉන්දීය පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇතත්, පොලිසිය විසින් ප්‍රචණ්ඩකාරීව එයට එරෙහිව සිදු වූ උද්ඝෝෂණ මර්දනයට ලක් කිරීමෙන් රජයට එරෙහිව ඇති වූ දැවැන්ත විරෝධය හේතුවෙන් පසුව එය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලදී. පොලීසිය සමග මාස තුනක් පුරා පැතිරී ගිය මෙම ගැටුම් හේතුවෙන් මුස්ලිම් ජාතිකයන් 53ක් මිය ගිය අතර විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන සිර ගත කරන ලදී.
2019 වසරේ සිදු වූ එම විරෝධතා හේතුවෙන් මාර්තු 11 වැනිදා ඉන්දීය අගනුවර වන නවදිල්ලි නුවර පුරවැසි නීතිය යලි ක්‍රියාත්මක කිරීම ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එහි ආරක්ෂාව තර කර ඇත. මෙම ජාතිවාදී නීතිය සම්බන්ධයෙන් එල්ලවන ප්‍රධාන විවේචනයක් වනුයේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන “රජය හා ආගම වෙන් කරන ඉන්දියානු රාජ්‍යයයේ අනාගමික මූලධර්මය” ඉතා බරපතල ලෙස උල්ලංඝණය කරනු ලබනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය “මෙම නීතිය ඉන්දියානු ව්‍යවස්ථාව විසින් සහතික කර ඇති සමානාත්මතාවය සහ ඉන්දියාවම විසින් පිළිගෙන සම්මත කර ව්‍යවස්ථාපිත වටිනාකම් ලබා දී ඇති 1948 ජාත්‍යන්තර මානව හිමිකම් ප්රකාශණය හා ඒ හා සමාන ජාත්‍යන්තර පඥප්ති උල්ලංඝණය කර තිබෙනවා” යයි පවසන්නේ එම සංවිධානයේ දකුණු ආසියානු ප්‍රකාශක වරයාය.
මෙම යෝජිත ජාතික පුරවැසි ලේඛනයක් සමඟ ලෝකයේ තුන්වන විශාලතම මුස්ලිම් ජනගහනය වෙසෙන රට ලෙස සැලකෙන ඉන්දියාවේ මිලියන 200 ක මුස්ලිම්වරුන්ට වෙනස් කොට සැලකීමට ඉඩ ඇති බව එම සංවිධානයේ අදහසයි. ඉන්දියාවේ වෙසෙන මෙම මුස්ලිම් ප්‍රජාව අතර වෙසෙන මිලියන1,9 දුප්පත් පුරවැසියන්ට තමන්ගේ ඉන්දියන් අනන්‍ය තාවය ඔප්පු කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛණ නොමැති බව හේතුවෙන් නව නීතිය මගින් ඔවුන් රටක් නොමැති ජනතාවක් බවට පත්වීමේ ඉඩකඩ වැඩි බව මේ අතර ඉන්දියානු විපක්ෂය ද පවසා සිටි.
එහෙත් ඉන්දියානු රජය පවසනුයේ, මෙම නීතිය මගින් මුස්ලිම් ජනතාවට කිසිදු වෙනස් කොට සැලකීමේ අරමුණක් නොමැති බවය. මෙම නීතිය මගින් 2014ට පෙර ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය හා බංගලාදේශය වැනි මුස්ලිම් රටවල් වල පීඩාවට පත්ව ඉන්දියාවට පලා ආ වෙනත් හින්දු, ක්‍රිස්තියානි, බෞද්ධ ඇතුළු ආගමික සුළුතරයන්ට උපකාර කිරීමට සම්මත කල කෙටුම්පතක් බවය. නමුත් උද්ඝෝෂකයන් පවසන්නේ බුරුමේ රෝහින්ගයා හා පකිස්ථානයේ හසාරා ෂියා මුස්ලිම් භක්තියන්ට ඉන්දියාවේ පුරවැසි භාවය ලබා ගැනීම මෝඩි රජය විසින් හිතා මතාම ප්‍රතික්ෂේප කර ඇති බවයි.
කෙසේවෙතත් දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනුයේ මෙම නීතිය මැතිවරණ පොරොන්දුවක් ලෙස භාරතීය ජනතා පක්ෂය තම ප්රචාරක ජාලාවේ 2019 සිට සඳහන් කර තිබු බවය. ඉන්දියානු පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රියෙල් හෝ මැයි මාසයේ පැවත්වීමට නියමිතව ඇති තත්වයක් තුල මෙම පුරවැසි නීතිය(NRC) කරලියට පැමිණීවීම මගින් මෝඩි රජයේ මුස්ලිම් විරෝධය ඔස්සේ මැතිවරණය ජයගැනීමට උත්සහයක් පැවතිය හැකි බවටද ඔවුන් සැක පහල කරති.