පසුගිය පෙබරවාරි 26 වැනිදා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මක්රෝන් විසින් මේ වන විට යුධ පෙරමුණේ යම් පසුබෑමට ලක් වී තිබෙන යුක්රේනයේ සහය සඳහා ප්‍රංශ පාබල හමුදා යැවීමට සුදානම් බව පවසන ලදී. එහෙත් ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ නේටෝ සංවිධානය හා ජර්මනිය එම යෝජනාව තරයේ ප්‍රතික්‍ෂේප කරන ලදී. නේටෝව තුල ඇති වුනු මෙම බෙදුණු ස්ථාවරයන් ඉලක්ක කරමින් රුසියානු ජනාධිපතිවරයා තමන් න්‍යෂ්ටික යුද්ධයකට සූදානම් බව මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමත් සමග යුරෝපා සංගමය යම් තිගැස්සිමකට ලක් වී ඇත. මේ අතර ස්වීඩනයේ රාජ්‍ය නොවන සංවිධානයක්(SIPRI) විසින් නිකුත් කල වාර්තාවක් සඳහන් කරනුයේ ප්‍රංශය ලොව ආයුධ වෙළඳාමෙන් දෙවන ස්ථානයට පත් වී ඇති බවයි.
පෙබරවාරි 26 වැනිදා ප්‍රංශ ජනාධිපතිවරයා විසින් කරන ලද ඉහත ප්‍රකාශයට පිළිතුරු දෙමින් මාර්තු 13 බදාදා, රුසියානු රාජ්‍ය රූපවාහිනියට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ව්ලැඩිමීර් පුටින් පවසා සිටියේ මේ වන විට අප්‍රිකාව තුල පවත්වා ගෙන ආ සියළු ප්‍රංශ හමුදා බලයන් අවසන් වී යාම නිසා ඇති වී තිබෙන මක්රෝන්ගේ කලබලය තමන්ට තේරුම් ගත හැකි බවයි.
“අපි අප්‍රිකාව මත අපේ බලය යෙද වුවේ නැත. අපි ප්‍රංශය එලවලත් නැහැ, ප්‍රශ්නය වෙනස්. මේ සුප්‍රසිද්ධ රුසියානු වැග්නර් කණ්ඩායම තමා අප්‍රිකාවේ ආයෝජනය සඳහා ගියේ. ඔවුන් මුලින්ම සිරියාවේ ආර්ථික ව්‍යාපෘති ගණනාවක් සිදු කළ අතර පසුව අප්‍රිකාවේ වෙනත් රටවලටත් එය ව්‍යාප්ත කළා. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය එයට සහාය දැක් වූයේ එය රුසියානු කණ්ඩායමක් වූ නිසා පමණයි. ඊට වඩා දෙයක් නැත. ඔවුන් ක්‍රියාත්මක කලේ ආර්ථික වැඩ සටහනක්” යයි රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව ඔහුට අනුව අප්‍රිකාව තුල රුසියානු මැදිහත් වීම පැහැදිලිවම ආර්ථික ව්‍යාපෘතියකි.
“මිලිටරි-තාක්ෂණික දෘෂ්ටි කෝණයකින්, අපි ඕනෑම ආක්‍රමණයකට මුහුණ දීමට ඇත්ත වශයෙන්ම සූදානම්. රුසියාව සමඟ තවදුරටත් රතු ඉරක් නොමැති බව පවසන රටවල ආන්ඩු සම්බන්ධයෙන් ගත් කල, රුසියාවේ අපටත් තවදුරටත් ඔවුන් සමඟ රතු ඉරක් නොමැති බව ඔවුන් මේ අවස්ථාවේ සිට අවබෝධ කර ගත යුතුයි. රුසියාවේ ආරක්ෂාව, ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාවය සම්බන්ධ ව සිදුවන තර්ජනයකදී න්‍යෂ්ටික අවි භාවිතා කිරීම සඳහා කිසි විටකත් පසුබට වෙන්නේ නෑ. රුසියාවේ න්‍යෂ්ටික බලය ඇමරිකාවේ එම බලයට වඩා ඉහල අගයක් ගන්නවා “යයි ව්ලැඩිමීර් පුටින් තවදුරටත් එරට රූපවාහිනියට ප්‍රකාශ කර සිටියේය.
කෙසේ වෙතත් මාර්තු 12 වැනිදා ප්‍රංශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වසර 10ක් සඳහා වූ යුක්රේන-ප්‍රංශ ආරක්ෂක ගිවිසුමට පක්‍ෂව චන්ද 372ක් හා 99ක් විරුද්ධව ලෙස සම්මත වුනි. ප්‍රංශ කොමියුනිස්ට් පක්‍ෂය හා වාමාංශික පෙරමුණේ මන්ත්‍රී වරුන් ගිවිසුමට විරුද්ධව චන්දය දෙනු ලැබිණි. නාසි වාදී ජාතික පෙරමුණ චන්දය දීමෙන් වැලකී සිටියේය. මෙම ගිවිසුමට අනුව ඩොලර් බිලියන 3ක යුධ ආධාර හා යුක්රේන හමුදාවට කාල තුවක්කු, ගුවන් හමුදා බලය ප්‍රංශය විසින් වසර 10ක් පුරා සපයනු සපයනු ඇත.
මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ප්‍රංශ අගමැතිවරයා පවසා සිටියේ යුක්රේනයට සහය නොදුන්නොත් ඇතිවන ආර්ථික අර්බුධය හේතුවෙන් රටේ උද්ධමනය 10% දක්වා ඉහල යා හැකි බවයි. යුද්ධයට සහය දීම හා රටේ ආර්ථික අර්බුධය සමග ඇති සම්බන්ධය ඒ අනුව තහවුරු වන අතර ප්‍රංශ මධ්‍යම බැංකුව නිකුත් කල වාර්තාවකට අනුව රටේ උද්ධමනය 3%ක් ලෙස හා ආර්ථික වර්ධන වේගය 1.4%ක් ලෙසත්, අයවැය හිඟය 4.4% GDP ලෙසත් රාජ්‍ය ණය ප්‍රතිශතය 98%GDPක් ලෙස සඳහන් වේ. 2027 දක්වා සමස්ථ ආර්ථිකය සමබරව පවත්වා ගැනීම සඳහා යුරෝ බිලියන 50ක් හදිසි මුදලක් අත්‍යවශ්‍ය බව රටේ මුදල් අමාත්‍යංශය අනතුරු හඟවනු ලැබුවේ මිට දින කීපයකට පෙරය.
වසරේ මුල් කාර්තුව තුල පමණක් කුඩා හා මධ්‍යම සමාගම් 63000ක් වැසී ගොස් ඇති අතර රැකියා විරහිත භාවය 7.5% ලෙස දැක්වේ. රටේ අයවැය හිඟය පිය වීමට තවත් ඩොලර් බිලියන 10ක මුදලක් අවශ්‍ය බව IMF ආර්ථික වාර්තා වල සඳහන් වේ. පාර්ලිමේන්තුව අමතමින් ප්‍රංශ ආරක්ෂක ඇමති, සෙබස්තියන් ලේකොර්නු යුක්රේනයට ලබා දෙන ඩොලර් බිලියන 3 සම්බන්ධයෙන් පැවසුවේ යුක්රේනය තම ආයුධ මිලදී ගැනීම සිදු කල යුත්තේ තම ආයුධ නිෂ්පාදන සමාගම් වලින් පමණක් යන කොන්දේසිය මත මෙම මුදල් ලබා දෙන බවත්ය.
මේ ගිවිසුම පාර්ලිමේන්තුවේ සම්මත කර පැය 24ක් යාමටත් පෙර ප්‍රංශ අමාත්‍යංශ කීපයක වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර රාශියක් එල්ල වී තිබිණි. ප්‍රංශයේ සිදු කරන ලද මත විමසුමකදී 61% ප්‍රංශ ජනතාවක් පුටීන්ගේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් පිළිබඳව තම බිය පළකර තිබිණි. තවද 51% ප්‍රංශ ජනතාව යුක්රේන හමුදාවට ඩොලර් බිලියන 3ක් ආධාර ලබා දීම හෙලා දැක තිබිණි. කෙසේවෙතත් රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග රුසියානු ජනාධිපතිවරයා සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා පැවත් වූ එකම යුරෝපීය නායකයා ප්‍රංශ ජනාධිපතිවරයා පමණක් විය.
මේ වන විට අප්‍රිකාවේ නිජර්, මාලි රාජ්‍යය හා බුර්කිනා පාසෝ වෙතින් තම හමුදාවන් ඉවත් කර ගැනීමට ප්‍රංශයට සිදු වී ඇත. බොහෝ ප්‍රංශ යටත් විජිත වල පාලනය හමුදා පාලනයන් බවට පරිවර්ථනය වෙමින් ඒවාට ඍජුවම රුසියානු හමුදා සහය ලැබෙමින් පවතී. එම නිසාම ප්‍රංශය හා රුසියාව අතර මේ දක්වා පවතිනුයේ සීතල යුද්ධයකි. ප්‍රංශ භාෂාව කතා කරන අප්‍රිකාව නියෝජනය කරන මෙම පැරණි ප්‍රංශ යටත් විජිතයන්හි ආර්ථිකයෙන් 20% ක් පමණ චීනය පාලනය කරන අතර ප්‍රංශය නියෝජනය කරන්නේ 4.2% ක් පමණක් බව ප්‍රංශ-අප්‍රිකානු සම්බන්දතා පිලිබඳ විශේෂඥයෙකු වන ප්‍රංශ මහාචාර්‍යය antoin glasser පවසා සිටි.
මේ අතර මෙම සඳුදා ප්‍රකාශයට පත් කරන ලද SIPRI (ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය) හි වාර්තාවකට අනුව යුක්‍රේනයේ යුද්ධය විසින් විස්තාරණය කරන ලද පසුගිය වසර පහ තුළ යුරෝපයේ ආයුධ ආනයනය දෙගුණ වී ඇත. 2019 සහ 2023 අතර යුරෝපීය ආයුධ ආනයනය පෙර වසර පහට සාපේක්ෂව 94% කින් ඉහළ ගොස් ඇත. රුසියාව සහ යුක්රේනය අතර වසර දෙකක කාලයක් පුරා පවතින ගැටුම හේතුවෙන් ආයුධ වෙළඳපල සක්‍රීය වී ඇත. යුක්රේනය මෙම ගැටුම හේතුවෙන් ලෝකයේ සිව්වන විශාලතම ආයුධ ආනයනකරු බවට පත් වී ඇත.
එහිදී ආයුධ අපනයනකරුවන් සම්බන්ධයෙන් ගත් කල, පසුගිය වසර පහ තුළ ප්‍රංශය රුසියාව වෙනුවට එක්සත් ජනපදයට පිටුපසින් ලෝකයේ දෙවන විශාලතම අපනයනකරු ලෙස ආදේශ කර ඇති බව ආයතනය(SIPRI) හෙළි කර සිටි. එහිදී මොස්කව්හි ආයුධ අපනයනය 53% කින් අඩු වී ඇත. ආසියාවේ සහ පැසිෆික් කලාපයේ සාම්ප්‍රදායික ගනුදෙනුකරුවන්ට හා එයට යුරෝපයත් එකතු කිරීමෙන්, එක්සත් ජනපදය 2014-2018 කාලය තුළ 34% ක් වූ අගය ලෝකයේ ආයුධ අලෙවියෙන් 42% දක්වා පසුගිය වසර තුල ඉහල නංවා ගෙන ඇත. ජපානය, දකුණු කොරියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල ඇමරිකානු ආයුධ හා ගුවන් යානා අලෙවිය ඉහළ ගොස් ඇති අතර, මේ සියලු රටවල් චීන අනතුර නිසාත් යුරෝපය තුල නම් එය රුසියානු අනතුර හේතුවෙනුත් ඇමරිකාවෙන් ආයුධ මිලදී ගැනීමට පෙළඹී ඇති බව වාර්තාව තව දුරටත් පෙන්වා දේ.
ප්‍රංශය ඩොලර් බිලියන 3ක යුධ ආධාර ලබා දීම සඳහා පාර්ලිමේන්තුව තුල පනත් සම්මත කර ගනිද්දී මොස්කව් නුවර දක්වා පහර දිය හැකි ටෝරස් මිසයිල යුක්රේනයට යැවීමට කරන ලද නව ඉල්ලීමක් ජර්මානු පාර්ලිමේන්තුව විසින් යලි ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව ජර්මානු පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා යුක්රේනයට දිගු දුර ටෝරස් කෲස් මිසයිල යැවීමට චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ රජයට කරන ලද නව විපක්ෂයේ යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පහළ මන්ත්‍රී මණ්ඩලය නොහොත් බුන්ඩෙස්ටාග් යුනියන් විපක්ෂ කන්ඩායමේ යෝජනාව ඡන්ද 190 ට 495 කින් ප්‍රතික්ෂේප කළ අතර පහක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
එහෙත් ජර්මානු ආයුධ නිෂ්පාදක Rheinmetall බහු ජාතික සමාගම ෂෙල් වෙඩි, හමුදා වාහන, වෙඩි බෙහෙත් සහ ගුවන් ආරක්ෂක අවි නිෂ්පාදනය කිරීම සඳහා යුක්රේනයේ අවම වශයෙන් ආයුධ කම්හල් හතරක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව මාධ්‍ය වෙත දන්වා සිටියේය. .
“යුක්රේනය දැන් අපට වැදගත් හවුල්කරුවෙකි, වසරකට යුරෝ බිලියන දෙකත් තුනක් අතර ලාභයක් අප එයින් උපයනවා ” යනුවෙන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ආර්මින් පැපර්ගර් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. මේ අතර Leopard 2 යුධ ටැංකියේ නිෂ්පාදකයා වන Düsseldorf ජර්මන් සමාගම පවසනුයේ 2023 දී යුරෝ බිලියන 7.2 දක්වා තම ලාභය නංවා ගැනීමට සමත් වූ අතර එය මේ වසරේ දී යුරෝ බිලියන 10 ක් පමණ ඉහල නංවා ගැනීමට අපේක්ෂා කරන බවත්ය. Rheinmetall සමාගම විසින් 2025 දී ෂෙල් වෙඩි 700,000 ක් සහ 2024 වසරේ 500,000 දක්වා නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරනු ලබයි. එහෙත් යුක්රේනය රුසියානු ආක්‍රමණයට පෙර එය වසරකට නිෂ්පාදනය කළේ 70,000 ක් පමණි.
යුක්රේනය අමතමින් රුසියානු ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේ කොන්දේසි මත සාම ගිවිසුමක් අත්සන් කිරීම සඳහා තමන් එකඟත්වය පල කරන බවයි. නමුත් යුක්රේනය එයට පිළිතුරු දෙනු ලැබුවේ රුසියාවේ තෙල් ගබඩා සංකීර්ණ හතරකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් එම බලාගාර අකර්මන්‍ය කරමිනි. මෙම ප්‍රහාරය හේතුවෙන් රුසියාවේ දෛනික ඛනිජ තෙල් නිෂ්පාදනයෙන් 18%ක් ලෝක වෙළඳ පලට පැමිණීමට බාධා පමුණුවන බව bloomberg සඟරාව මේ අතර පවසා සිටි. එහෙත් මේ වන විට තෙල්, ගෑස් මිල ලෝක වෙළඳ පල තුල ඉහල ගොස් ඇති තත්වයක් තුල හා රතු මුහුදේ හුති ගරිල්ලා ප්‍රහාර නිසා තෙල් හා ගෑස් ඉල්ලුම වැඩි වීමත් නිසා මෙවැනි ප්‍රහාර වලින් රුසියානු ආර්ථිකයට කල හැකි බලපෑම ඉතාමත් අඩු බව යුධ විශේෂඥයයන් මේ අතර පෙන්වා දේ.
කෙසේවෙතත් ඉදිරියේදී පැවැත්වෙන ඇමරිකානු මැතිවරණයෙන් ට්‍රම්ප් ජනාධිපති වීමට ඇති ඉඩකඩ ඉහල අගයක් ගැනීමත්, ඒ අනුව නේටෝව පවා බරපතල අර්බුධයකට යාමේ ඉඩකඩත් සලකා බලන විට නේටෝ සංවිධානයේ නායකත්වය සඳහා ප්‍රංශය හා මහා බ්‍රිතාන්‍ය අතර තරඟයක් පවතින අතර යුරෝපා සංගමය තුලත් තම අධිපත්‍යය රඳවා ගැනීමට ප්‍රංශය අපේක්ෂා කරනු ඇතැයි එරට යුධකාමී බව පිළිබඳව අදහස් දක්වමින් දේශපාලන විචාරකයින් පෙන්වා දේ. එහෙත් ඒ සඳහා යුරෝපා සංගමයේ ආර්ථික බලවතා වන ජර්මනිය සමග යම් එකඟතාවයකට පැමිණීමට ප්‍රංශයට සිදු වනු ඇත. ඒ අනුව මාර්තු 15 වැනිදා යුක්රේනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපති මක්රෝන්, පෝලන්ත ජනාධිපති හා ජර්මානු වාන්සල් Olaf Scholz හදිසියේ හමු වීමට නියමිතය.
කෙසේවෙතත් ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවයේ අධ්‍යක්ෂක Bill Burns ” යුක්රේනයට එරෙහිව සිදුවන යුද්ධයේ දී රුසියානු හමුදාවට වඩ වඩාත් වාසි දායක ලෙස යුධ පෙරමුණ වෙනස් වෙමින් පවතින බවත්, යුක්රේන හමුදාවේ ධෛර්යය හා මානසිකත්වය ඉහල මට්ටමක පැවතියත් ඔවුන්ට උදව් කිරීමට ගන්නා කාලය ඉහල යාම නිසා ඇතිවී තිබෙන උණ්ඩ හිඟයන් නිසා ඔවුන් දරුණු පසුබෑමක පසුවනවා” යයි සඳුදා දිනයේදී නේටෝ නායකයින්ට අනතුරු හඟවමින් පවසා සිටියේය.