පකිස්ථානයේ හිටපු අගමැති සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ රජයට ලැබුණු ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධ නඩුවකට වසර 14 ක සිර දඬුවමක් නියම කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. එරට අගනුවර ඉස්ලාමාබාද්හි දූෂණ විරෝධී අධිකරණයක් විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම නව නඩු තීන්දුව ලබන මස පෙබරවාරි 8 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට දින කිහිපයකට පෙර පැමිණීම විශේෂිත සිද්ධියක් වේ. ඒ හා සමගාමිව රාජ්‍ය රහස් හෙළිකිරීමේ වරදට ඉම්රාන් ඛාන්ට පසුගිය අඟහරුවාදා දස වසරක සිර දඬුවම් නියම වී තිබිණි.
එසේම හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය වසරේ දූෂණ චෝදනා මත වසර තුනක සිරදඬුවම් නියම වූ අතර ඔහු වසර පහකට නුසුදුස්සෙකු ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
අධිකරණයේ පෙනී සිටිමින් ඉම්රාන් ඛාන් පැවසුවේ තමන් එම භාණ්ඩ නීත්‍යානුකූලව මිලදී ගත් බවයි. නමුත් රජය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයයා පවසා සිටියේ රජය වෙත ලැබුණු ත්‍යාග ඩුබායි වෙත විකුණූ බවට හිටපු අගමැතිවරයාට හා ඔහුගේ උපදේශකයන්ට හා රජයේ නිලධාරීන් ට සාක්ෂි සහිත චෝදනා ඉදිරිපත් කරන බවයි.
පෙබරවාරි 8 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ඡන්දය ප්‍රකාශ කිරීම ආසන්නයේ දී ලබා දුන් මෙම නඩු තීන්දුවත් සමග ඉම්රාන් ඛාන්ගේ Pakistan Tehreek-e-Insaf (PTI) පක්ෂය අඩපණ වී ඇත: එහි රැස්වීම් රජය විසින් තහනම් කරන ලදී. එහි මැතිවරණ ලකුණ තහනම් කරන ලද අතර එම පක්ෂයේ අපේක්ෂකයින් විශාල ප්‍රමාණයකට තරඟ කිරීමට පවා ඉඩ නොදුනි. PTI පක්ෂයේ ක්‍රියා කාරකම් මාධ්‍ය විසින් බොහෝ දුරට නොසලකා හරින ලද අතර එම පක්ෂයේ සාමාජිකයින්ට සමාජ මාධ්‍ය මත විශ්වාසය තැබීමට සිදුවිය. නමුත් අන්තර්ජාල ඇනහිටීම් නිසා ඔවුන්ගේ මාර්ගගත රැස්වීම් පැවැත්වීමට ගත් උත්සාහයන්ට පවා බාධා සිදු වී තිබිණි .
මෙම නඩු විභාග දෙකම පැවැත්වුණේ ඉම්රාන් රඳවා තිබෙන පකිස්ථානයේ අඩියාලා බන්ධනාගාරයේ වන අතර, ඉම්රාන් ඛාන් මැයි මාසයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු සිරගත කල අතර ඔහුට එරෙහිව විවිධ චෝදනා යටතේ නඩු පවරන ලදී. මේ වන විට ඔහුට වසර පහකට ජනතා නියෝජිතයෙකු බවට පත් වීමට නුසුදුස්සෙකු ලෙසද ප්‍රකාශයට පත් කර ඇත.
2018 දී බලයට පත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් 2022 අප්‍රේල් මාසයේදී විශ්වාසභංගයකින් නෙරපා හරින ලද්දේ හමුදාවේ සහාය අහිමි වීමෙන් පසුව බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
ඔහුට එරෙහිව එල්ලවන නීතිමය ක්‍රියා මාර්ග වල මූලාරම්භය හමුදා සංස්ථාපිතය බවටත්, නැවත එරට නායකයා වීම වැළැක්වීමට මෙම චෝදනා එල්ල කරන බවටත් ඉම්රාන් ඛාන් චෝදනා කර සිටි.
තවද පසුගිය අඟහරුවාදා ඔහුට එරෙහිව විභාග වූ තවත් නඩු විභාගයකදී 10 වසරක සිර දඬුවමක් නියම වූ අතර එය පකිස්ථානයේ එක්සත් ජනපද තානාපතිවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික කේබලයක් හෙළිදරව් කිරීම සම්බන්ධ ව වේ. මෙම කේබලය ඉදිරිපත් කරමින් ඉම්රාන් ඛාන් පවසනුයේ ඔහුගේ පාලනයට එරෙහිව පකිස්ථාන හමුදා සහය ඇතිව සිදු වූ ඇමරිකානු කුමන්ත්‍රණය ඔප්පු කිරීම සඳහා එය කදිම සාක්ෂියක් බවයි. නමුත් එක්සත් ජනපදය සහ පකිස්ථාන හමුදාව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇත.
ඔහු තවමත් පකිස්ථානයේ ප්‍රබල ජනප්‍රිය චරිතයක් ලෙස සිටින නමුත්, හමුදාවට එරෙහි ඔහුගේ විරෝධය හේතුවෙන් ඔහුගේ දේශපාලන ව්‍යාපාරය දැඩි පසුබෑමකට ලක් වී ඇත. මැයි මාසයේදී ඔහු අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඔහුගේ පක්ෂ සාමාජිකයින් හා ආධාරකරුවන් කෝපයට පත් කළ අතර ඔවුන් ප්රචණ්ඩ විරෝධතා රට පුරා සංවිධානය කරනු ලැබුහ. එම උද්ඝෝෂණ වලට එරට බලධාරීන් ප්‍රතිචාර දැක්වූයේ PTI ආධාරකරුවන් සහ නායකයින් දැවැන්ත ලෙස අත්අඩංගුවට ගැනීමෙනි.
මැතිවරණය සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් twitter පණිවිඩයක් හරහා එරට ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියේ පෙබරවාරි 8 වැනිදා ඔබේ ඡන්දයෙන් මේ සෑම අසාධාරණයකටම එරෙහිව ඔබගේ විරෝධයෙන් පළිගත යුතු බවයි.